May 02, 2024

බෝම්බය ගැන බොරැල්ල මීසම් භාර පියතුමන්ගෙන් නිවේදනයක්!

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් හමුවු අත්බෝම්බය සම්බන්ධයෙන් මීසම් ධර්මසේවා සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බොරැල්ල මීසම් භාර පියතුමන් වන ජූඩ් ශ්‍යාමන් පියතුමන් සහ මීසම් ධර්මසේවා සභාව මේ බව පෙන්වා දී තිබෙනවා.

සිදුවන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පරීක්ෂණ සිදුවන ආකාරය පිළිබඳව ගැටලු සහගත බවත් අදාළ සිදුවීම සිදුවූ ස්ථානයේ ඇති CCTV දර්ශනවලට අනුව සැකකරුවන් හඳුනාගැනීමට පොලීසියට හැකියාව තිබියදීත්, එලෙස කටයුතු නොකිරීම ගැටලු සහගත බව එම නිවේදනයේම සඳහන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට රජය සහ බලධාරීන් පියවර ගත යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

පසුගිය ජනවාරි 11 වන දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමු වුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බොරැල්ල පොලීසිය විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව මේ වන විටත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළා.

Rate this item
(0 votes)