May 02, 2024

කැබිනට් ඇමතිකම් ඉල්ලන මන්ත්‍රීන්ට ජනපතිගෙන් පිළිතුරු - සුසිල් ගැනත් කියයි: විපක්ෂ මන්ත්‍රීටත් උපදෙස්

රටක ඉදිරි ගමන වෙනුවෙන් මැති ඇමතිවරු මන්ත්‍රීවරු, සියලු දෙනා එකට එක්ව කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

සිදුවන පසුබෑම් සඳහා කණ්ඩායමක් ලෙස මුහුණ දීම සාමූහික වගකීමක් බවත් එසේ නොකර අඩුපාඩුකම් පිළිබඳ පමණක් විවේචන කරනවානම් එය අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

කොවිඩ් හේතුවෙන් අහිමි වූ වසර දෙක ගැන නොසිතා තමා පොරොන්දු වූ වගකීම් ඉදිරි තෙවසර තුළ ඉටු කිරීමට කැපවන බව රාජපක්ෂ මහතා නැවත වරක් සඳහන් කළා.

සෑම මන්ත්‍රීවරයෙකුම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් එහෙත් ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධුර 30ට අමතරව කිසිඳු අමාත්‍ය ධුරයක් ලබා දී තමා ජනතාවට දුන් පොරොන්දුව කඩ නොකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

විපක්ෂයේ යුතුකම

ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ වලදී සහාය වීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බවයි ඔහු පෙන්වා දුන්නේ.  

තීරණ ගැනීමේ දී නිලධාරීන් වැඩකළ හැක්කේ කෙසේ දැයි පමණක් බලන්න. එසේ නොමැතිව චක්‍රලේඛ මගින් වැඩක් කළ නොහැක්කේ කෙසේ දැයි නොබලන ලෙසත් ඉදිරි වසර තුන සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.

ජනතාව වෙනුවෙන් වූ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීමට ඉදිරියේ දී තමා රාජ්‍ය ආයතනවලට පෞද්ගලිකව පැමිණෙන අතර “ගම සමග පිළිසඳර” වැඩසටහන යළි අරඹා ජනතා අපේක්ෂාවන් කඩිනමින් ඉටු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

පෙරලියක ආරම්භයක්

පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද (07) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහිදී අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් පිටව යන විට හැකියාවක් සහිත දරුවෙකු බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම “සෞභාග්‍යයේ දැක්මේ” අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් ඉටු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

සෑම දරුවෙකුටම තොරතුරු තාක්ෂණ දැනුම ලබාදී තාක්ෂණයෙන් පිරිපුන් ශ්‍රම බලකායක් ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු ඉදිරි කෙටි කාලය තුළ සිදු කෙරෙන බව ජනාධිපතිවරයා කියා සිටියා.

නිදහස් අධ්‍යාපන වංශකතාවේ සුවිශාල මෙහෙවරක් සේම සංධිස්ථානයක් ලෙස ජාතික පාසල් දහස වැඩසටහන ඉතිහාසයට එක්වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා.

එය දැනුම් අධ්‍යාපනයේ පෙරලියක ආරම්භයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

 

Rate this item
(0 votes)

Related items