May 04, 2024

රජයේ වෛද්‍ය සංගමෙන් තීන්දුවක් - රටේම රෝහල් හෙට සිට නවතින ලකුණු

December 20, 2021

හෙට (21) සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක යෙදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (21) උදෑසන 8.00 සිට දිවයිනේ සෑම රෝහලකම මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව යි එම සංගමය පවසා සිටියේ.

ඔවුන් මෙම වැඩ වර්ජනය පවත්වන්නේ පශ්චාත් සීමාවාසික පත් වීම් සහ මාරුවීම් ලබා දීමේ දී ගැටළු පවතින බව පවසමින්.

වර්ජනයට හේතුව

මෙලෙස වැඩ වර්ජනයකට යාමේ හේතුව පැහැදිළි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අත්තනෝමතික ලෙස ස්ථාන මාරු ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන ඇති බව යි.

එහි දී තමන්ට හිතවත් පිරිස් වෙත විශේෂ සැළකීමක් දක්වන බව ද ඔහු පෙන්වා දුන්නා.

“මාරු මණ්ඩල හරහා ක්‍රියාත්මක වීමට තිබිච්ච ක්‍රමවේදයන් අමතක කරලා දාලා සෞඛ අමාත්‍යංශයේ නිලධාරීන් අත්තනෝමතික ලෙස ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම. ඒ වගේම දුෂ්කර පළාත්වලට වෛද්‍යවරු අනියුක්ත කිරීම. වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා වගේම රෝගීන්ගේ අවශ්‍යතාත්, රෝහල්වල අවශ්‍යතාත් සම්පූර්ණයෙන්ම අමතක කරලා තමුන්ට හිතවත් අයට හිතූමතේට කටයුතු කිරීම නිසා මේ අර්බුදය පැණනැගිලා තියෙනවා”

කඩාකප්පල්කාරී වැඩක්

මේ අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසා සිටියේ පශ්චාත් සීමාවාසික පත් වීම් ලබා දීමේ දී කිසිදු වරදක් සිදු වී නොමැති බව යි.

ඒ අනුව මෙම වර්ජනය හුදු කඩාකප්පල්කාරී ක්‍රියාවක්ම පමණක් බව යි ඔහු පෙන්වා දෙන්නේ.

“නවක වෛද්‍යවරුන්ට පත් වීම් ලබා දීමේ දී කිසිදු ආකාරයකට සෞඛ්‍ය ඇමතිතුමාටවත්, සෞඛ්‍ය ලේකම්තුමාටවත් කිසිම බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් නෑ. ඒක ලබා දිය යුත්තේ අනිවාර්යෙන්ම පුරප්පාඩු ලේඛණයට අනුව. සේවා අවශ්‍යතා දැඩිව තියෙන ස්ථාන හඳුණාගෙන ඒ අනුව තමයි මේ පත් වීම් ලබා දීමට හැකියාවක් තියෙන්නේ”

එමෙන්ම විජේසූරිය මහතා වෛද්‍ය පුරප්පාඩු ලේඛණය මාධ්‍යවේදීන් වෙත ඉදිරිපත් කරමින් පෙන්වූයේ එම ලේඛණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෙකු ද අත්සන් තබා ඇති ආකාරය යි.

“3000ක් පමණ පුරප්පාඩු දිවයින පුරා තියෙනවා. මේ 3000න් සේවා අවශ්‍යතා දැඩිව පවතින ආයතන මොනවාද යන්න අපි සොයාගන්නවා. සොයාගෙන තමයි පත්වීම් ලබා දීමට කටයුතු කරන්නේ. විනිවිදභාවය දැඩිව තියෙන්න ඕනෙ නිසා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයත් මේකට සම්බන්ධ කරගත්තා මේ පුරප්පාඩු ලේඛණය සැකසීමේ දී.

මේ ලේඛණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් ඒ අදාළ නියෝජිත වෛද්‍යවරයා මෙතන අත්සන් කරලා තියෙනවා. ඉතින් මේ පුරප්පාඩු ලේඛණවලට අනුව තමයි අපි පත්වීම් ලබා දීලා තියෙන්නේ. එසේ නැතුව කිසිම ආකාරයක දේශපාලනික වශයෙන් හෝ පෞද්ගලික අවශ්‍යතාවන් මත මේ පත්වීම් ලබා දීලා නැහැ.

ඉතින් වැඩ වර්ජනයකට යොමු වෙන්න තරම් වරදක් සිදුවෙලා නෑ. එවැනි අවශ්‍යතාවකින් කටයුතු කරනවා නම් අපිට තීරණය කරන්න වෙන්නේ මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්ය කියන එක පමණයි”

අසාර්ථක වූ සාකච්ඡාව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වර්ජනය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග අද (20) දින සාකච්ඡාවක් ද පැවැත්වූවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දී යි.

එම සාකච්ඡා අසාර්ථක වූ බව යි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

ඒ හේතුවෙන් තමන් හෙට උදෑසන 8.00 සිට වැඩ වර්ජනය ආරම්භ කරන බව එම සංගමය සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යංශයට අමුතු ලෙඩක්ලු

මේ අතර මෙම සාකච්ඡාවට පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ දී අද මාධ්‍ය හමුවක් ද සංවිධානය කොට තිබුණා.

එහි දී අදහස් දැක්වූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයට “අමුතු රෝගයක්” වැළඳී ඇති බව යි.

“සෞඛ්‍ය අමාත්‍යංශයට අමුතු ලෙඩක් බෝවෙලා තියෙනවා මේ ලඟදි ඉඳලා. ඒක තමයි, සේවකයන් ටික වර්ජනවලට විරෝධතාවලට යොමුකරන ලෙඩේ. දැන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාරු කිරීම් කරන නිලධාරීන්ට, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට තේරෙන්නෙ නෑ කොහොමද වෛද්‍යවරුන්ගෙ මාරු කිරීම් කරන්න ඕනේ කියලා. කවුද හදන්න ඕනෙ කියලා තේරෙන්නේ නෑ. 

වෙන කාටවත් කියන්න බෑ, අපිට ඕනෙ විදිහට අපි හදනවා කියලා අත්තනෝමතික මතයක තමයි දැන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඉන්නේ. නියෝජ්‍ය අධ්‍යක්ෂක කෙනෙකුට ඕනෙ වුණාම එයාට ඕනෙ විදිහට ලැයිස්තුවක් හදනවා. 

අද දිනයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වුණා. එහි දී ප්‍රධාන කරුණු 07ක් හඳුණාගත්තා. ඒ කරුණු 07ත් මුල් කරගෙන හෙට උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් පටන් ගන්න තීරණය කරනු ලැබුවා. ඒ අනුව හෙට සිට දිවයිනේ සෑම රෝහලකම වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා”

වැඩ කරන නොකරන තැන්

අදාළ මාධ්‍ය හමුවේ දී වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වන කාලය තුළ දී ද රෝහල්වල අත්‍යාවශ්‍ය සේවා සහ හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකවන බව යි.

ඒ පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙලෙස පැහැදිළි කළා.

“සියළුම අත්‍යාවශ්‍ය සේවා සහ හදිසි ප්‍රතිකාර කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනවා. ඒ වගේම ළමා රෝහල්, කාන්තා රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු ඒකකවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබනවා. නමුත් අනිකුත් රෝහල් සහ අනිකුත් සේවාවන්වල බිඳවැටීමක් සිදුවේවි ලංකාව පුරා”

දිස්ත්‍රික්ක 05ක රෝගීන් අනාථයි

දීප ව්‍යාප්ත වර්ජනය හෙට (21) දිනයේ ආරම්භ වූවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (20) දින එක් දින වර්ජනයක ද නිරත වූවා.

ඒ දිස්ත්‍රික්ක 05ක් ආවරණයවන පරිදි යි.

පොළොන්නරුව, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල අද උදෑසන සිට ඔවුන් වැඩ වර්ජනයෙහි නිරත වූවා.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල පිහිටි රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවටත් අසරණභාවයටත් පත් වුණු බව යි ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම රෝහල්වල දෛනික වැඩකටයුතු ද අඩාල වූ බව සඳහන්.

බෙහෙත් ගන්න සල්ලි නෑ

අද දින රෝහල් වෙත පැමිණ සිටි සියළුම රෝගීන් පාහේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක බව දැනගෙන ඇත්තේ රෝහලට පැමිණීමෙන් අනතුරුවයි.

රෝහල් වෙත පැමිණ සිටි ජනතාව පවසා සිටියේ වෛද්‍යවරු සේවයට වාර්තා කොට නොමැති වීම හේතුවෙන් තම රෝගාබාධවලට ඖෂධ නොගෙන යළි නිවෙස්වලට යාමට සිදුව ඇති බව යි.

පුද්ගලික අංශයේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට හෝ පුද්ගලික ආයතනවලින් ඖෂධ මිලට ගැනීමට මුදල් නොමැති බව යි බොහෝ රෝගීන් පවසා සිටියේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝගී කාන්තාවක් මෙලෙස ප්‍රකාශ කළා.

“දොස්තරලත් දැනගන්න ඕනේ මෙතන ඉන්න අසරණ ලෙඩ්ඩුන්ට බෙහෙත් ටිකක් දෙන්න. මෙතන ලෙඩ්ඩු මරං කාලා හරියන්නෙ නෑනේ. සල්ලි තියෙන එක්කෙනා ගන්නවා. නැති එක්කෙනා කොහොමද බෙහෙත් ටිකක් ගන්නේ කියන්නකො”

Rate this item
(0 votes)
Last modified on Monday, 20 December 2021 20:57