May 02, 2024

අයවැයක් නෑ - හිතුමතේ මුදල් වියදම් කරලා: ඇමති ඉදිරියේදී සියල්ල හෙළිවෙයි

December 06, 2021

අයවැය සම්මත කිරීමෙන් තොරව මුදල් වියදම් කර ඇතැයි පැවසෙන පළාත් පාලන ආයතන ගණනාවක් විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

අය වැය සම්මත කිරීමකින් තොරව ඉදිරි වර්ෂය සදහා මුදල් වැය කිරීමේ කිසිදු හැකියාවක් නැති හෙයින් එම නීතිය කඩකළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරනවා.

ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන කොමසාරිස් වරුන් අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරි දිනවල කැඳවා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළා.

මේ ආකාරයට මුදල් වැය කිරීම නරක පූර්වාදර්ශයක් බව පැවසූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ආයතනවල අනෙකුත් ගැටලු පිළිබඳවද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළා.

දූෂණයෙන් අක්‍රමිකතා වලින් තොරව පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සඳහා සියලු සැලසුම් සකස් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසුවා.

අම්බලන්ගොඩ නගර සභාවද 2021 වර්ෂය සදහා අයවැය සම්මත කරගැනීමකින් තොරව මුදල් වියදම් කර ඇතැයි එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී තොරතුරු අනාවරණය වුණා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ එහි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

පළාත් පාලන ආයතනවල ව්‍යාපෘති අවසන් කිරීමට ඇති කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවද මන්ත්‍රීවරු මෙහිදී කමිටුවට පෙන්වා දී තිබෙනවා.

සිමෙන්ති හිගය, කොවිඩ් තත්වය වැනි හේතු නිසා ව්‍යාපෘති අදාළ කාලය තුළ අවසන් කිරීමට නොහැකිව ඇති බැවින් එම කාලය ලබන වසරේ ජනවාරි දක්වා හෝ දීර්ඝ කළ යුතු බව මෙහිදී යෝජනා ඉදිරිපත්විය. මේ පිළිබදව කඩිනමින් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

Rate this item
(0 votes)