May 07, 2024

දෙසැම්බරයේ නැවත වරක් රට වසා දැමීමට යයි Featured

November 19, 2021

සති අන්තයේ තිබෙන දීර්ඝ නිවාඩු කාලය තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් බැහැර කරමින් ජනතාවගේ හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ රට නැවත වරක් වසා දැමීමට මෙන්ම පාසල් පද්ධිතය අකර්මණ්‍ය වීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරනවා.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.

"එළඹී තිබෙන දීර්ඝ සති අන්තය බොහෝ දෙනෙකු අනිසි ආකාරයෙන් භාවිතා කරන බවක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම තරුණ පරපුර විනෝද චාරිකා වැනි අවස්ථා වන්ට සහභාගි වී සිටින ආකාරයත් පසුගිය දිනවල අපි දුටුවා. මේ ආකාරයට විනෝද චාරිකා සදහා යන පිරිස් අවධාරණය කර ගත යුතු වන්නේ තමන් අනතුරු දායක තත්ත්වයන් දෙකකට මුහුණ දෙමින් සිටින බවයි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා බොහෝ වැව් පිටාර ගලමින් පවතිනවා. එවැනි ස්ථාන වලදී හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන්. එමෙන්ම එම ස්ථාන වල සිටින සෙසු පිරිසේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අපි කිසිවක් දන්නේ නෑ. ඇතැම් විට එම ස්ථානය තුළ කොවිඩ් ආසාධිතයෙකු ඉන්න පුළුවන්. කොවිඩ් වෛරසය ශරීර ගත වූ සැනින් තමන් ආසාධිතයෙකු බවට හදුනා ගන්න බැහැ. නමුත් එම තැනැත්තා වාහකයෙකු ලෙස සෙසු පිරිසට රෝගය බෝ කරන කෙනෙක් වෙන්න පුළුවන්.

මෙම තත්ත්වය ඉතාමත්ම හොදින් අප අවධාරණය කර ගත යුතු වනවා. ඔබ මේ දිනවල සමාජ තුළ ගත කරන ආකාරය තමයි ඉදිරිය රට පවතින තත්ත්වය තීරණය කරන්නේ. ඇතැම් විට මහජනතාවගේ හැසිරීම නරක තත්ත්වයට පත් වී ගියහොත් සිදු කරන්න තියෙන්නේ නැවත පාසල් පද්ධතිය පමණක් නොව රටම වසා දැමීම පමණයි. එවැනි තත්ත්වයක් නැවත රට තුළ උද්ගත වුවහොත් වර්තමානයේ සමාජය තුළ සෞඛ්‍ය ආරක්ෂිතව ගත නොකරන පිරිස් ඊට වගකිව යුතු බවද කියන්න කැමතියි." යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම අද වන විට පී.සී.ආර් මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පළමු පෙළ ආශ්‍රිත සියල්ලටම සිදු නොකරන අතර, මෙරට බොහෝ ආයතනවල ද අහඹු පරීක්ෂණ සිදු නොකරන බවයි ඔහු පවසන්නේ.

යළි එම පරීක්ෂණ ක්‍රියාවලිය ඇරඹුණහොත් අනිවාර්යයෙන්ම දෛනික ආසාදිත සංඛ්‍යාව 1000 ඉක්මවා යාම සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ආසාදිතයින් වැඩි වන්නේ ඇඳිරිනීතියෙන් පසුව සෞඛ්‍ය උපදෙස් රැකීම යන කාරණාව මත වන අතර, දෙසැම්බර් මැද වනවිට ආසාදිත සංඛ්‍යාව තවදුරටත් තීව්‍ර වන්නේ නම් නිසැකවම රට නැවතත් වසා දැමීමට සිදු වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ජුඩ් සමන්ත

Rate this item
(1 Vote)
Last modified on Friday, 19 November 2021 22:13