May 02, 2024

යාපනයේ පුරාවිද්‍යා භූමියක් විනාශ මුඛයේ (PHOTOS)

November 09, 2021

යාපනය කරෙයිනගර් වෙහරපිට්ටි ප්‍රදේශයේ විනාශ වෙමින් පවතින පුරාවිද්‍යා භූමියක් පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික උරුමය, ප්‍රාසාංගික කලා සහ ග්‍රාමීය කලාශිල්ප ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුලු පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වුණා.

පැවති යුද සමයේ සිට වර්තමානයේ ජනතාව නැවත පදිංචි වීම දක්වා විවිධ අවස්ථාවන්හි වෙහෙරපිට්ටි පුරාවිද්‍යා භූමියේ පිහිටි නටඹුන්ද විශාල ප්‍රමාණයක් විනාශ වී ගොස් තිබෙනවා.

වෙහෙරපිට්ටි ග්‍රාමයේ ගනේශා විදුහල අසල මෙම පූජා භූමිය පිහිටා ඇති අතර එම භූමියේ මේ වන විටත් නටඹුන් රැසක් විසිරී පවතින බවටත් එම නටඹුන් විනාශ වෙමින් පවතින බවටද දැකගත හැකි වුණා. එමෙන්ම විදුහල් ගොඩනැගිල්ලට දකුණු පසින් වූ භූමියේ මීටර් 15ක පමණ විෂ්කම්භයෙන් යුක්ත මීටර් 2ක් පමණ ගැඹුරට හාරා ඇති ස්ථානයක කණුපාදම් ගල් 06 කට අයත් කොටස් විසිරී පවතින අතර භූමිය පුරාම පැරණි උළු කොටස්ද දැක ගත හැකි වුණා.

පාසල් ගොඩනැගිල්ලට නැගෙනහිරින් වූ (ඉදිරියෙන්) කොටසේ පැරණි දාගැබක් යැයි අනුමාන කළ හැකි තවත් විනාශ කළ නටඹුන් ගොඩනැගිල්ලක්ද වන අතර මීටර් 2.5 ක පමණ උසින් වූ මෙම ගොඩනැගිල්ලෙහි ගඩොල්, හුණුගල් හා පස් මිශ්‍රව පවතිනවා.

භූමිය අවට බොරදම් ගල් කොටස් හමුවන අතර පාදම් ගල් (අත්තිවාරම් ගල්) කොටස්ද දැකිය හැකියි. තවද ජලය බැසයාමට සැකසූ කාණු සහිත හුණුගල් කොටස් ද මී.5ක විශ්කම්භයෙන් යුත් මධ්‍යයේ සිදුරක් සහිත ගල් වෘත්තයක් වන අතර එය කොත් කැරැල්ලට අයත් වූ කුඩා ඡත්‍රයක් විය හැකි යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන අතරම වර්තමානයේ මෙම ස්ථානය 75 % කට අධික ප්‍රමාණයක් පමණ විනාශ කර තිබෙනවා.

මෙම ස්ථානය පිළිබඳව ගවේෂණ කටයුතු කඩිනම් කර එහි ඓතිහාසික වැදගත්කම පිළිබඳව සෙවීමට සංරක්ෂණ කටයුතු සිදු කරන ලෙසත්, පුරාවිද්‍යා භූමිය තුළ පදිංචිව සිටින ජනතාව වෙත ද අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන්නැයි විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ස්ථානයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

 

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)
Last modified on Monday, 08 November 2021 21:18