April 26, 2024

ලෝක බලවතුන්ගේ රෙදි ගලවා ලීක් වූ රහස් ලේඛණයෙන් රාජපක්ෂ කෙනෙකුත් මතුවෙයි

ලොවම හෙල්ලූ පැන්ඩෝරා පේපර්ස්

“පැන්ඩෝරා පත්‍ර” නොහොත් “Pandora Papers” නමින් ප්‍රසිද්ධ කර ඇති රහස් ලේඛණ සමූහයක් මේවන විට ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

මෙම ලේඛණවල අන්තර්ගත වී ඇත්තේ ලොව විවිධ රටවල්වල වත්මන් සහ හිටපු නායකයින්, ව්‍යාපාරිකයින් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම බලවත් පුද්ගලයින් සිය අනන්‍යතාවය සඟවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ ආදී සිදුවීම් පිළිබඳව යි.

ඔවුන් සතු රහස්‍ය ධනය හා ගනුදෙනු සම්බන්ධයෙන් ද මෙම ලේඛණ හරහා අනාවරණය කර තිබෙනවා.

රාජපක්ෂ නමකුත් ලේඛණ අස්සේ 

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ මෙරට හිටපු දේශපාලනඥවරියක් පිළිබඳව ද මෙම ලේඛණයන් හි සටහන්ව තිබීම යි.

රාජපක්ෂ පවුලේ ද සාමාජිකාවක්වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමයි මෙලෙස සටහන් වී ඇත්තේ.

ඇය හිටපු අමාත්‍යවරියක් ද වනවා.

නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියාවන තිරුකුමාර් නඩේසන් මහතා පිළිබඳව ද පැන්ඩෝරා පත්‍රවල සටහන්ව තිබීම විශේෂත්වයක්.

රාජපක්ෂ මහත්මිය සහ නඩේසන් මහතා සිදු කළ බවට චෝදනා නගා ඇති මූල්‍ය අවභාවිතයන් කිහිපයක් පිළිබඳව එහි සටහන්ව ඇති අතර මෙම චෝදනා සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දීම ඔවුන් දෙදෙනා ප්‍රතික්ෂේප කළ බව ද අදාළ සටහන අවසානයේ දැක්වෙනවා.

හෙළිකළේ කවුද?

පැන්ඩෝරා පත්‍ර ප්‍රසිද්ධ කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ  “ICIJ” නමැති ජාත්‍යන්තර මාධ්‍යවේදී සංවිධානයට අයත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පිරිසක්.

එමෙන්ම “ද වොෂින්ටන් පෝස්ට්” පුවත්පත් ආයතනය මෙන්ම ලොව වටා සිටින පුවත් වාර්තාකරුවන් සිය ගණනක් මේ සඳහා සිය දායකත්වය දී ඇති බව සඳහන්.

එමෙන්ම මෙම මූල්‍ය අවභාවිතයන් පිළිබඳ රහස්‍ය වාර්තා මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් මේවන විට ලොව ඉදිරියේ හෙළිකර ඇති බව ද දැක්වෙනවා.

ලේඛණවල ඉන්න අය

රටවල් 90කට වැඩි ගණනක ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, රාජකීය පවුල්වල සාමාජිකයන්, දේශපාලනඥයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, සමීපතමයින් සහ රාජ්‍ය නිලධාරීන් ආදීහු සිදු කර ඇති මූල්‍ය අවභාවිතයන් පිළිබඳව පැන්ඩෝරා පත්‍ර හරහා අනාවරණය කර ඇති බව යි ICIJ සංවිධානය පවසන්නේ.

ජෝර්දානයේ රජු, චෙක් ජනරජයේ, ලෙබනනයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැතිවරු, ගැබොන් රාජ්‍යයේ, කෙන්යාවේ, ඉක්වදෝරයේ, කොංගෝවේ හා යුක්‍රේනයේ ජනාධිපතිවරු, කටාර්හි එමීර්වරයා, මොරොක්කෝවේ කුමරිය, අසර්බයිජානයේ ජනපති පවුලෙහි සාමාජිකයින් ආදීහු මෙම පත්‍රවල සඳහන්වන පුද්ගලයින්ගෙන් අතලොස්සක් පමණයි.

ඔවුන්ට අමතරව විවිධ රටවල් ගණනාවක හිටපු ජනාධිපතිවරු, හිටපු අගමැතිවරු මෙන්ම, මැති ඇමතිවරු රැසකගේ නම් ද පැන්ඩෝරා පත්‍රවල දක්වා තිබෙනවා.

පුටින්ගේ රහස් පෙම්වතිය

ලෝක බලවතුන් අතර ප්‍රමුඛයෙකුවන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ සමීපතම හිතවතුන්ගේ නම් ද පැන්ඩෝරා පත්‍රවලට ඇතුලත්ව තිබීම මේවන විට ජාත්‍යන්තර මාධ්‍යන්හි දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

වඩාත් ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ එම නම් අතර ජනපති පුටින් වසර ගණනාවක් තිස්සේ රහසිගතව ඇසුරු කළ පෙම්වතියකගේ නම ද සටහන්ව තිබීම යි.

ස්වෙත්ලානා ක්‍රිවොනොගික් නමැති ඇය සාන්ත පීටර්ස්බර්ග් නුවර රැකියාවෙහි නිරතව ඇත්තේ වෙළඳසැල් පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදුණු සේවිකාවක ලෙස යි.

කෙසේ වෙතත් මේවන විට ඇය ඩොලර් මිලියන ගණනක වත්කමක් සහිත තැනැත්තියක බව පැන්ඩෝරා පත්‍ර අනාවරණය කරනවා.

මෙම තොරතුරු පිළිබඳව තමන් විමසූ ප්‍රශ්ණවලට පිළිතුරු දීම ක්‍රිවොනොගික් නමැත්තිය සහ ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කළ බව යි ICIJ සංවිධානය පවසන්නේ.




Rate this item
(3 votes)
Last modified on Monday, 04 October 2021 08:19