May 06, 2024

බදුල්ලේ ලෙන් විහාරයක් විනාශ මුඛයේ (PHOTOS)

පළමුවන විමලධර්මසූරිය රජ කාලයට අයත් බදුල්ල ස්ප්‍රීංවැලි කෝට්ටගොඩ ප්‍රදේශයේ ඇති ගල්ගේපිටිය පුරාණ ලෙන් විහාරයේ බිතු සිතුවම් අභාවයට යමින් පවතින බැව් ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම පැරණි කටාරම් සහිත ලෙන් විහාරය අනුරාධපුර හෝ පොලොන්නරු යුග වලට අයත් වන්නට ඇති බවට විශ්වාස කලද එය නිශ්චිතවම තහවුරු වී නොමැති බැව් ඉතිහාසය පිළිබඳ ගුරුවරයෙක් ලෙසට කටයුතු කරන ජනක තෙන්නකෝන් මහතා සඳහන් කරනවා.

කෙසේ වෙතත් සීතාවක රාජසිංහ රජතුමා භික්ෂූන් වහන්සේලාට එරෙහිව තර්ජන ගර්ජන සිදු කරන කාල වකවානුවේදී එයින් මිදීමට දෙවනගල විහාරස්ථානයේ වැඩවාසය කල ඉරුගල් සාමි හා සූරිය සාමි යන භික්ෂූන් වහන්සේලා දෙනම මෙම ගල් ගුහාව සහිත ලෙන් විහාරයේ ආක්ෂිතව සඟවා තැබීමට කෝට්ටගොඩ ප්‍රදේශයේ සිත්තරගෙදර චිත්‍රාචාර්යා නම් පුද්ගලයෙක් කටයුතු කර ඇති බවත් පසුව උඩරට රජතුමා බවට පත්වූ විමලධර්මසූරිය රජතුමන්ගේ රාජාභිෂේක අවස්ථාවේදී පිරිත් දේශණයට මෙම හිමිවරුන් දෙනම වැඩම කිරීම සඳහා රාජ පුරුෂයින් මෙම කෝට්ටගොඩ ප්‍රදේශයට පැමිණි බවට සඳහනක්ද පවතින බවත් අනතුරුව මෙම ලෙන් විහාරය හිමිවරුන්ට පූජා කල බවක්ද උලුගල සන්නසේ සඳහන් වන බවයි තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙවන්වූ වටිනාකමක් ඇති මෙම ලෙන් විහාරය අද වන විට වැඩි සැලකිල්ලක් දක්වන අයුරක් දක්නට ලැබෙන්නේ නැති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

ලෙන් විහාරයේ ඇති සිතුවම් විනාශ වෙමින් පවතින අතර මෙහි වටිනාකම පිළිබඳව මහජනතාව දැනුවත් වූ අයුරක්ද දක්නට නොලැබෙයි.

මෙම අතීත උරුමය ආරක්ෂා කර දෙන මෙන් ප්‍රදේශවාසීන් අදාල බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

(බදුල්ල - ජයලත් දිසානායක)

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 13 August 2021 09:30