May 01, 2024

බදුලු ඔය විනාශයි - ජනතාවට වතුර දෙන්නෙත් බදුලු ඔයෙන් (PHOTOS)

බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාවක් තම දෛනික ජල අවශ්‍යතාව සපුරා ගනු ලබන්නේ බදුලු ඔයෙන්. ගල්පර අතරින් අති සුන්දර ලෙස රටා මවමින් ගලා එන බදුලු ඔයේ සංචාරක ආකර්ශණය දිනා දෙන දුංහිඳ දිය ඇල්ලද පෝෂණය වෙනවා. මෙවන් සුවිශේෂ වූ බදුලු ඔය අවලස්සන වෙමින් ජලය දූෂණය වන තත්වයකට මේ වන විට පත් වෙමින් පවතිනවා.

බදුලු ඔය අති සුන්දර වුවද මේ වන විට එය අසුන්දර වෙමින් පවතින අයුරු දැකගත හැකි වෙනවා. වීදුරු බෝතල් මෙන්ම ප්ලාස්ටික් බෝතල් ආදී නොදිරන ද්‍රව්‍ය රැසක් බදුලු ඔයට මිශ්‍ර වී තිබෙනවා.

මිනිසා විසින් වැඩි සැලකිල්ලක් නොදක්වමින් සිදුකරනා ක්‍රියා නිසා මෙවැනි තත්වයක් සිදුව ඇති බවත් මේ හේතුවෙන් ජලයේ ජීවත්වන මාළුන් මෙන්ම විවිධ සතුන් ද විනාශ වී යාමේ තර්ජනයකටද ලක්ව ඇති බවට පරිසරවේදීන් පෙන්වා දෙනවා.

එමෙන්ම බොහෝ ජනතාවක් පානීය ජල අවශ්‍යතාවයන්ද සපුරා ගන්නේ මෙම බදුලු ඔයෙන්. වැඩි සැලකිල්ලක් නොදක්වමින් මිනිසා විසින්ම සිදු කරනා ක්‍රියාදාමයන් නිසා අද වන විට බදුලු ඔය අපවිත්‍ර තත්වයට පත්ව තිබෙනවා. මෙම සුන්දර බදුලු ඔය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් නොවන්නේද?

(බදුල්ල - ජයලත් දිසානායක)

Rate this item
(0 votes)
Last modified on Friday, 13 August 2021 09:28