May 03, 2024

චන්ද්‍රිකාගේ නිවේදනයට ප්‍රතිචාර: ශ්‍රීලනිපයේ සැබෑ උරුමක්කාරයා විමුක්ති කුමාරතුංග

විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලාංකීය දේශපාලනයට එන බව පසුගිය දින කීපය පුරා ප්‍රවෘත්ති මවපු මාතෘකාවක් වුණා.

හිටපු ජනපතිනියගේ නිවේදනය

එම ප්‍රවෘත්තිය සාවද්‍ය බව විමුක්ති කුමාරතුංග මහතාගේ මෑණියන් වූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

කුමාරතුංග මහත්මිය එසේ ප්‍රකාශ කළද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා "අපි ශ්‍රී ලංකා" නමින් නව පක්ෂයක් සෑදීමට උත්සාහ කිරීමත් කුමාරතුංග මහත්මියගේ වඩාත් කිට්ටු මිතුරා වූ මංගල සමරවීර මහතා "අපි දේශප්‍රේමියෝ" නමින් තරුණ නායකත්වයන් රටට හඳුන්වාදීමට නිර්මාණය කළ මැද මාවතේ රැඩිකල් ව්‍යාපාරයත් විමුක්ති කුමාරතුංග මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් නිර්මාණය වන පක්ෂ හා ව්‍යාපාර ලෙසයි දේශපාලන විචාරකයින් පෙන්වා දුන්නේ.

මංගල හා වෙල්ගමගේ මතය

එම මතය සමරවීර මහතා ප්‍රතික්ෂේප කළද වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ සිය පක්ෂය හරහා රටේ නම ගිය ප්‍රභූ දේශපාලන පවුලක පුත්‍රයකු දේශපාලනයට පැමිණෙන බවයි.

ඒ විමුක්ති කුමාරතුංග මහතා නොවේදැයි මාධ්‍ය වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළ අතර එය වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළේ නැහැ.

නිවේදනය නිකුත් කළ හිටපු ජනපතිනිය මීට සති කිහිපයකට පෙර විදේශගත වූ අතර ඇය විමුක්ති කුමාරතුංග මහතා සමග එංගලන්තයේ සිටින බවයි වාර්තා වුණේ.

හිටපු ජනපතිනිය යළිත් මෙරටට පැමිණි බවක් දැනගන්නට නැහැ.

නිවේදනය නිකුත් වුනේ විදේශ රටකින්

ඒ නිසා විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට නොඑන බව සඳහන් කළ එම නිවේදනය හිටපු ජනපතිනිය විදේශගතව සිට නිකුත් කළ බවයි සනාථ වන්නේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිල මුහුණු පොතේද මෙම මාධ්‍ය නිවේදනය පලවී තිබෙන අතර ඊට බොහෝ දෙනකු සිය අදහස්ද එක් කර තිබෙනවා.

ඒ අතරින් බොහොමයක සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ උරුමක්කාරයා විමුක්ති කුමාරතුංග මහතා බවයි.

මීට පෙරද විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට නොඑන බවට කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කලා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 08 August 2021 23:03