May 05, 2024

මීලඟ ජනපතිවරණයට ගෝඨා නෑ - පොහොට්ටුවේ අපේක්ෂකයා කලින්ම නම් කෙරේ

මාස 10ක් බැසිල් පීඩනයෙන්

පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමින් තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම දිගු කාලයක සිට බැසිල් රාජපක්ෂ මහතාට දැඩි පීඩනයක් දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසනවා.

තම පක්ෂය ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව මාස 10ක පමණ කාලයක් තිස්සේ මෙම පීඩනය ඔහු වෙත එල්ල කළ බව යි කැටගොඩ මහතා සඳහන් කළේ.

තම කණ්ඩායම පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතනවල නියෝජිතයින් ද බැසිල් රාජපක්ෂ මහතාට එම පීඩනය ලබා දුන් බව ඔහු පෙන්වා දුන්න‍ා.

කැටගොඩ මහතා සඳහන් කර සිටියේ එම පීඩනයේ අවසන් ප්‍රතිඵලය ලෙස බැසිල් රාජපක්ෂ මහතාව එකඟ කරවා ගැනීමට හැකිවුණු බව යි.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා තමන් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද (06) දින ඉල්ලා අස් වුණු අතර ඉන් හිස්වූ මන්ත්‍රී ධූරයට බැසිල් රාජපක්ෂ මහතාව නම් කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමේ අවස්ථාවට එක් වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළා.

මීළඟ ජනපතිවරණයට ගෝඨා නෑ!

මේ අතර රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජයන්ත කැටගොඩ මහතා අද දින විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා.

ඒ මීලඟ ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව යි.

කැටගොඩ මහතා ප්‍රකාශ කළේ සිය පෙරමුණ නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව යි.

"මේක බැසිල් රාජපක්ෂ මහත්මයා ඊලඟ සැරේ ජනාධිපතිවරණයට ගෙන ඒමේ මූලික පියවර නේද?" යනුවෙන් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදී ඩිලාන් මායාදුන්නේ මහතා විමසා සිටි අතර එයට පිළිතුරු ලබා දෙමින් ජයන්ත කැටගොඩ මහතා පවසා සිටියේ "අනිවාර්යෙන් අපි එතුමාව ගේනවා ජනාධිපතිවරණයට" යනුවෙන්.

විමල්ලා කැමතිද?

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදී කණ්ඩායම් කැමතිදැයි විමසූ අවස්ථාවේ දී ජයන්ත කැටගොඩ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

"රටේම බැලුවත් අනික් සියළුම පක්ෂ අභිබවා ඉන්නේ අපි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒකේ නිර්මාතෘවරයා, ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එන එක ගැන කාටවත් විවාදයක් නෑ. විවාදයක් ඇතිවෙන්න විදිහකුත් නෑ"

Rate this item
(4 votes)
Last modified on Wednesday, 07 July 2021 06:56