May 17, 2024

නිවන්නට බැරි නෞකාව ගැන ඔබ නොදත් ඇත්ත (VIDEO)

මේවන විට නෞකාවේ තත්ත්වය

කොළඹ වරායට ඔබ්බෙන් ස්ථානගතව ඇති X-PRESS PEARL නෞකාව මේවන විටත් දැඩි ලෙස ගිනිගනිමින් පවතිනවා.

ප්‍රථමයෙන් ගින්න හටගත්තේ නැවෙහි මැද කොටසේ වුවත් මේවන විට නෞකාව පුරාම ගින්න ව්‍යාප්ත වී එය ගිනිගනිමින් පවතින බව සඳහන්.

එමෙන්ම නෞකාව මේවන විට දකුණු පසට ඇළ වී ඇති අතර මේ හේතුවෙන් එහි තිබූ කන්ටේනර් කිහිපයක්ම මුහුදට වැටී ගිලී ගොස් තිබෙනවා.

මේ අතර ගින්න පාලනය කිරීමට හැකි තත්ත්වයක මේවන විටත් නොමැති බවත් ගින්න පාලනය කිරීමට ඇති ඉඩකඩ ද ඉතාමත් අඩු බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා.

එමෙන්ම පවතින දැඩි සුළං සහිත කාලගුණයත් සමග ගින්න විශාල ලෙස වර්ධනය වෙමින් පැතිරෙමින් පවතිනවා.

ගින්නෙහි විශාලත්වය නිසාම එය ආසන්නයට යාමට ද අපහසු වී තිබෙනවා.

නෞකාව ශ්‍රී ලංකාවෙන් තවත් ඈතට ඇදගෙන යාම සඳහා සැළසුමක් තිබුණත්, එය ද සිදුකිරීමට නොහැකි වී ඇත්තේ එය ආසන්නයට ලඟා වීමට නොහැකි වී ඇති නිසා යි.

Image

Image


වස විස වෙරළට පැමිණෙයි

ගිනි ගන්නා නෞකාවෙන් සාගර ජලයට තෙල් ඇතුළු විවිධ දෑ නිකුත් වෙමින් පවතින බව එම ප්‍රදේශයේ ගුවන් දර්ශනවලින් නිරීක්ෂණය වුණා.

එසේම එලෙස නිකුත් වූ සුන්බුන් සහ රසායන ද්‍රව්‍ය මේවන විට ශ්‍රී ලංකා භූමිය වෙත පාවී අවුත් ඇති බව වාර්තා වෙනවා.

මෙම ද්‍රව්‍ය මේවන විට වෙරළ තීරයන්හි ගොඩගැසී ඇති අතර මේ හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව නිරීක්ෂණය කිරීමට හැකියි.

විශේෂයෙන් මෙම අපද්‍රව්‍ය කොළඹ සහ මීගමුව ආශ්‍රිත වෙරළ තීරයන් වෙත පැමිණ ඇති බව සඳහන්.

රසායනික ද්‍රව්‍ය සහ තෙල් පමණක් නොව කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ කන්ටේනර් දක්වා වූ ඝණ අපද්‍රව්‍ය කොටස් ද මේවන විට වෙරළ වෙත ගොඩගසා තිබෙනවා.

Image

Image

නෞකාව ඇතුලේ මොනවද තියෙන්නේ?

මෙම නෞකාව තුළ පවතින සාමාන්‍ය භාණ්ඩවලට අමතරව අන්තරායකර භාණ්ඩ ලෙස වර්ග කර ඇති භාණ්ඩ ද පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා.

එම අන්තරායකර භාණ්ඩ ලෙස නයිට්‍රික් අම්ල, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් මෙතොක්සයිඩ් සහ වයිනයිල් ඇසිටේට් ආදී විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබෙන බව යි ඇය පැවසුවේ.

මේවායින් බොහොමයක් ප්‍රතික්‍රියාශීලී බවින් ඉතා ඉහළ බව යි සභාපතිනිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේවාට අමතරව රූපලාවන්‍ය නිෂ්පාදන සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද නෞකාව තුළ පවතින බවත්,  ඒවා ද ඉතා ප්‍රතික්‍රියාශීලී බවත් ඇය පවසනවා.

අන්තරායකර භාණ්ඩ ලෙස නොගැනුනත්, ගින්නක දී අතිශය භයානක ද්‍රව්‍ය ලෙස සැළකිය හැකි තෙල් වර්ග වැනි දෑ ද නෞකාව තුළ ගබඩා කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය අනාවරණය කළේ.

පණට ආදරේ නම් මේවා කරන්න එපා

නෞකාවේ සිට ආ මෙම ද්‍රව්‍ය විෂ සහිත විය හැකි නිසා වෙරළ තීරයන් වෙත යාම සිදු නොකරන ලෙසට ජනතාවට බලධාරීන් අනතුරු අඟවමින් නිවේදනය කරනවා.

ඇතැම් විට නෞකාවේ සිට පැමිණෙන ද්‍රව්‍ය මළු තුළ හෝ පෙට්ටි තුළ ද තිබිය හැකි බැවින් කුතුහලය නිසා ඒවා විවෘත නොකරන ලෙසට ද බලධාරීන් ජනතාවට අවවාද කර සිටිනවා.

මෙම භාණ්ඩ වෙත ලඟාවීම හෝ ඒවා පරීක්ෂා කිරීම හේතුවෙන් ජීවිත අවධානමක් පවා ඇතැම්විට එල්ල විය හැකි බවට යි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් එවැනි යමක් දුටු විට පොලීසිය වෙත හෝ නාවික හමුදාව වෙත හෝ දැනුම් දෙන ලෙස ජනතාව වෙත අදාළ අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

තෙල් විසිරීම පාලනයටත් බාධා

මේ අතර සාගර ජලය වෙත තෙල් විසිරීමක දී එයින් සිදුවන පරිසර හානිය අවම කිරීම පිණිස ගන්නා ක්‍රියාමාර්ග ද ගැනීම මේවන විට අපහසු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු කලාපයේ පවතින දැඩි ප්‍රචණ්ඩකාරී කාලගුණික වාතාවරණය ඊට හේතුව යි.

පසුගිය දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවැති අඩු පීඩන තත්ත්වය මේවන විට සුළි කුණාටුවක් බවට පත්ව ඇති අතර ("යාස්" සුළි කුණාටුව) එය මේවන විට බෙංගාල බොක්කෙන් උතුරු දෙසට ගමන් කරමින් තිබුණත් එහි වක්‍ර බලපෑම මෙරට සාගර කලාපයට ද බලපා තිබෙනවා.

මෙවන් කාලගුණික තත්ත්වයක් මත මහාපරිමාණ තෙල් විසිරීමක් සිදුවුව හොත්  නෞකාව වටා කලාපයේ ආරක්ෂිත පියවර ගැනීමට නොහැකි බවත් සිදු කළ හැක්කේ වෙරළ පිරිසිදු කිරීම පමණක් බවත් විශේෂඥයින් පවසනවා.

එවැනි විශාල පරිසර හානියක් සිදුවුවහොත් එය අවම කරගැනීමට අවශ්‍ය පිරිස් සහ භාණ්ඩ මේවන විටත් සූදානමින් පවතිනවා.

මෙහි දී සංවේදී පරිසර පද්ධති සහ ධීවර කර්මාන්තය කෙරෙහි අතිශය තීරණාත්මක ස්ථාන කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවන බව සඳහන්.

ටයිටැනික් වගේ දෙකට කැඩෙයිද?

ගිනි ගනිමින් පවතින X-PRESS PEARL නෞකාව දෙකට කැඩී වෙන් වීමේ අවදානමක් මතුව ඇති බව නාවික විශේෂඥයින් පවසනවා.

යම් හෙයකින් එසේ නෞකාව දෙකඩ වුවහොත් එය සාගර පතුලේ ගිලී යනු ඇති.

එහි දී මේවන විට පවතින දැඩි ගින්න නිවී යනු ඇති නමුත් නෞකාවේ ඇති ඉන්ධන සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සාගර ජලයට මුසු වීම සිදුවීම අනිවාර්යයයි.

නැව ගිලුනොත්?

නෞකාව ගිලී ගියහොත් ඒ හරහා විශාල පරිසර හානියක් සිදු විය හැකි බවට විශේෂඥ කණ්ඩායම් අනතුරු අඟවනවා.

එමෙන්ම එසේ සිදුවුවහොත් එය මෑත ඉතිහාසයේ මෙරට සිදුවන දරුණුතම පරිසර ඛේදවාචකයක් වනු ඇතැයි පරිසරවේදීන් බිය පළ කරනවා.

නෞකාවෙන් තෙල් කාන්දුවක් හෝ රසායනික කාන්දුවක් ඇති වුවහොත් එම තෙල් හෝ රසායන ද්‍රව්‍ය වෙරළ කරා ළඟාවීම අනිවාර්යෙන් සිදුවනක්.

එවැන්නක් සිදු වුවහොත් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය බරපතල තර්ජනයකට ඇතිවිය හැකි බවට මත පළ වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාව තල්මසුන්, ඩොල්ෆීන් සහ කැස්බෑවුන් ආදී එකී නොකී වටිනා ජෛව සම්පත් රැසකට වාසභූමි සපයන මුහුදු ප්‍රදේශයක් වන බැවින් එම සතුන්ගේ ජීවිත පිළිබඳ ද මෙහි දී ගැටළුවක් මතුවනවා.

එමෙන්ම වෙරළාශ්‍රිතව පිහිටි සංවේදී පරිසර පද්ධති රැසක් මෙරට වටා පිහිටා ඇති අතර මෙවැනි පරිසර හානියක දී සිදුවිය හැකි හානිය සුළු පටු නොවනු ඇති.

ජලජ ජීවීන්ට මෙවැනිනකින් දැඩි හානි සිදුවන බැවින් එය ධීවර කර්මාන්තයට ද එල්ල විය හැකි තර්ජනයක්. 

එමෙන්ම ලොව සුන්දරතම වෙරළ තීර ලැයිස්තු අතර පවතින මෙරට වෙරළ තීර මත තෙල් තට්ටු තැන්පත් වුවහොත් එය සංචාරක කර්මාන්තයට දිගුකාලීනව බලපෑම් ඇතිකිරීමට සමත්වනු ඇති. 

එමෙන්ම මෙවැන්නක් හමුවේ ශ්‍රී ලංකා වාසීන්ට සෞඛ්‍ය ගැටළු පවා ඇතිවීමේ අවදානමක් පවතිනවා.

මෙම නෞකාව තුළ ඉන්ධන ටොන් 3500ක් පමණ ඇති බවයි පැවසෙන්නේ.

දුමත් ගැටළුවක්

නෞකාවේ පවතින ගින්නෙන් මේවන විටත් විශාල කලු දුමාරයක් අහසට නිකුත් වෙමින් පවතිනවා.

මේවන විට පවතින සුලං ප්‍රවාහයත් සමගින් මෙම දුමාරය සහ නිකුත්වන විෂ අංශු දිවයින හරහා ගමන් කිරීමට ඉඩකඩ පවතින බැවින් ඒ හරහා මෙරට ජනතාවට සෞඛ්‍ය හානි ද ඇති වීමේ අවදානමක් මතුව තිබෙනවා.

විශේෂයෙන් ශ්වසන අපහසුතා පවතින පුද්ගලයින්ට මින් ඇතිවිය හැකි බලපෑම වැඩි බව පැවසෙනවා.

එමෙන්ම එවැනි කෙටිකාලීන බලපෑම් මෙන්ම දැවී යන රසායනික ද්‍රව්‍ය හරහා විවිධ විෂ අංශු ආශ්වාස කිරීමෙන් දිගුකාලීන සෞඛ්‍ය ගැටළු පවා ඇති විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරනවා.

මොකක්ද මේ X-PRESS PEARL?

X-PRESS PEARL යනු සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා නෞකාවක්.

මෙය පැරණි නැවක් නොවන අතර 2021 එනම් මෙම වසරේ දීම නිෂ්පාදනය කර ඇති මෙහි දිග මීටර 186ක්වන අතර පළලින් මීටර 34ක්.

රසායනික ද්‍රව්‍ය ඇතුළු තවත් දෑ ගබඩා කළ කන්ටේනර් 1,486ක් මෙය තුළ පටවා තිබුණා.

ගිනි ගත් හැටි

කන්ටේනර් තොගය ද රැගෙන ඉන්දියාවේ හසීරා වරායේ සිට X-PRESS PEARL නෞකාව කොළඹ වරායට පැමිණෙමින් තිබූ අතර පසුගිය 20 වැනි දා කොළඹ වරායට ආසන්න වෙද්දී එහි ගින්නක් හටගත්තා.

ඒවන විට නෞකාව කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9.5ක දුරින් පිහිටියා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය ගින්න නිවීමේ කටයුතුවලට සම්බන්ධ වූ අතර ගින්න සැළකිය යුතු ලෙස පාලනය කිරීමට ඔවුන්ට හැකි වූවා.

එහෙත් ගින්න නිසා නෞකාවෙහි කන්ටේනර් අධික ලෙස රත් වී තිබුණා.

අළුයට ගිනි පෙන්වූ පිපිරීම

ඊයේ (25) "යාස්" සුළි කුණාටුව බෙංගාල බොක්ක කළඹද්දී එහි බලපෑම මෙරට මුහුදු ප්‍රදේශයට ද දැනෙන්නට වූවා.

මේ හේතුවෙන් දැඩි සුළඟක් හටගත් අතර X-PRESS PEARL නෞකාව තුළ පාලනය කර තිබු ගින්න මෙම සුළඟ නිසා යළි ඇවිළීමට පටන් ගත් බවයි වාර්තා වන්නේ.

දින ගණනක ගින්න නිසා අධික ලෙස රත් වී තිබූ කන්ටේනර තොගය මධ්‍යයේ ඊයේ (25) අළුයම පිපිරීමක් සිදු වූයේ ඒ අනුවයි.

මෙම පිපිරීමත් සමග මෙතෙක් කල් පාලනය වී තිබූ ගින්න ඉතා විශාල ලෙස වර්ධනය වන්නට පටන් ගත් අතර පිපිරීම හේතුවෙන් නෞකාව තුළ වූ කන්ටේනර් 08ක් සාගරයට වැටී ගිලී ගියා.

නාවිකයන් 99න් බේරෙයි

පිපිරීමත් සමග නෞකාවේ සේවය කළ නාවිකයන් 25 දෙනාගේ ජීවිත සම්බන්ධයෙන් ද අවදානමක් මතුවූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වී ඔවුන්ව බේරාගැනීමට ඊයේ (25) කටයුතු කළා.

කෙසේ වෙතත් පිපිරීම හේතුවෙන් එහි සේවය කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලැබූවා.

ඔවුන් දෙදෙනාගේ පාදවලට දැඩි හානි සිදුව ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

image host
Rate this item
(2 votes)
Last modified on Wednesday, 26 May 2021 11:21