May 04, 2024

දේවානිගේ යෝජනාවට පරිසර ලේකම් අනිල් ජාසිංහගේ සහාය

පසුගියදා පැවැති ගම්පහ සම්බන්ධීකරණ කමිටුවේදී අඩවි වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය මතුකළ මීගමුව කළපුවෙන් ඉවත් කර ඇති රොන්මඩ සහිත පස් තොගය පිළිබද පරිසර අමාත්‍යංශ ලේකම් දොස්තර අනිල් ජාසිංහ මහතාගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව එම රොන්මඩ සහිත පස් තොගයේ වැලි ඉවත් කරගැනීමට පරිසර අමාත්‍යංශය කටයුතු කිරීමට සූදානම් බව වාර්තා වේ.

එම රොන් මඩ සහිත පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කර ගත හැකි දැයි වහාම සොයා බලා, එසේ වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහාම මැදිහත් වන්නැයි පරිසර අමාත්‍යංශෙයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් දී තිබේ.

2018 දී ධීවර අමාත්‍යංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘතියේ දී මෙම රොන් මඩ තොගය ගොඩ දමා ඇති අතර, ගම්පහ දිසා අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය මෙම පස් තොගය කඩොලාන පරිසරයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්නද, ධීවර අමාත්‍යංශය ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම පිළිබඳ පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධව දිස්ත‍්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය, ප‍්‍රදේශයේ මැති ඇමැතිවරුන් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු ව ඇති බවට ඉකුත් 31 වැනිදා පලවූ මාධ්‍ය වාර්තා අනුව මේ පිළිබඳ සොයා බැලීමට පියවර ගත් බව පරිසර අමාත්‍යංශය කියයි.

Rate this item
(1 Vote)