May 18, 2024

ඇමැති ශෂීන්ද්‍ර ගිය ජීප් රිය ඔයට වැටෙයි - දිවි බේරාගත් හැටි ඇමති ශෂීන්ද්‍ර හෙළි කරයි

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මැදගම සිට පුබ්බාර මාර්ගය හරහා පෙරේදා (21) මොනරාගලට එමින් සිටියදී ඔහු ගමන් කළ ජීප්රථය පුබ්බාර පන්සල අසල මාර්ගය හරහා ගලායන මන්දපංගුව ඔය හරහා එගොඩට යෑමේදී ජල පහරට හසුවී ඔයට වැටී ඇත.

ජීප්රථයේ සිටි කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු තිදෙනකු අනතුරින් දිවි බේරාගෙන ඇති අතර ප‍්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව එදින රාත‍්‍රියේදීම ජීප්රථය ගොඩට ගෙන ඇත.

තමන් ගමන් ගත් වාහනය මැදගම ප්‍රදේශයේ පුබ්බාරු ඔයේ ගසා ගසාගෙන යන අවස්ථාවේ ජීවිතය බේරා ගත්තේ ජනේල වලින් පැන බවත් තමන්ට ජීවිතය බේරා ගත්තේ කතරගම දෙවියන් විසින් බවත් පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමන් කළ හොඳ දේවල් ප්‍රතිඵල බලපෑ බවද කියා සිටියේය.

අනතුර සම්බන්ධව අදහස් දක්වමින් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.

"මට හිතා ගන්නත් බැරි විදිහටයි මේ සිදුවීම වුණේ. මම බිබිල ප‍්‍රදේශයේ ජනතා සේවයක් ඉටු කරලා එන අතරතුරදී සුනාමියක් වගේ එකපාරටම පාරෙන් ජල කදක් ආවා. ජීප් රිය කරකැවුණා. මම දැනගත්තා අනතුරක් කියලා. රියැදුරාටත් මගේ සහායකයාටත් කිව්වා පැනගන්න කියලා. මමත් අමාරුවෙන් ජල කඳට පැනලා ගොඩට ආවා. ජීප් රථය අඩි සියයක් විතර දුරක දිය යටින් ගහගෙන ගියා. පස්සේ පැයකින් පමණ තමයි ජීප් රථය ගහක පැටලිලා තිබිලා සොයා ගත්තේ.

මම මේවාගේ අත්දැකීමට කවදාවත් මුහුණදීලා නෑ. මම කතරගම දේවාලයේ බස්නායක නිලමේ විදිහට කතරගම දෙවියන්ට කළ සේවය නිසා කතරගම දෙවියෝ තමයි මාව බේරාගන්න ඇත්තේ. මෙය මට අමතක නොවන සිදුවීමක්. හරිම ත‍්‍රාසජනකයි. යුද්ධය කාලයේ මම ගමන් කළ කතරගම පෙරහැරට කොටි ත‍්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් එව්වා. එදා මගේ ආරක්ෂක අංශවලට ඔහු අසුවුණා. එදත් කතරගම දෙවියෝ නිසා තමයි මම බේරුණේ." යැයි ඔහු සඳහන් කළේය.

පෙරේදා සවස මොනරාගල ප‍්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලූණු අතර බොහෝ දිය ආරවල් සහ ඔයවල් පිටාර ගලා යමින් තිබිණි.

මෙම අනතුරෙන් කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා සහ ජීප් රථයේ සිටි තිදෙනා දිවි බේරාගෙන ඇත්තේ අනූ නවයෙනි.

Rate this item
(0 votes)