May 02, 2024

බලාපොරොත්තු නොවුණ විදිහට රෝගය ව්‍යාප්ත වෙන්න පටන් අරන් කොළඹ අවදානම පිටට පැතිරිලා - GMOA

December 08, 2020

කොවිඩ් 19 ගෝලීය ව්‍යාප්තිය සමඟ බලන විට ශ්‍රී ලංකාව තුළද අනතුරුදායක තත්ත්වය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඊයේ (07) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ මෙතෙක් කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශයට කේන්ද්‍ර වී තිබුණු රෝග ව්‍යාප්තියේ පැතිරීමක් පෙන්නුම් කරමින් තිබෙන බවයි.

''අපිට පෙනෙන්න තිබෙන බරපතල තත්ත්වය තමයි අවදානම කේන්ද්‍ර ගතවෙලා තිබුණු තැනින් බැහැරට අවදානම යම් මට්ටමකට ගමන් කරමින් තිබෙනවාය කියන කාරණය. ඊයේ දවස වෙද්දී අපි දැක්කා මෙතරම් දවසක අපි අවදානම ගැන ලොකුවට කතා නොකරපු සමහර ප්‍රදේශ ගණනාවක යම් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා. දැන් මහනුවර මෙතරම් රෝගීන් ප්‍රමාණයක් එකපාර වාර්තා වෙයි කියල අපි හිතුවේ නැහැනේ. මෙතරම් රෝගීන් ප්‍රමාණයක්, කල්මුණේ, සමන්තුරේ, අක්කරෙයිපත්තුවේ වාර්තා වෙයි කියල සතියකට කලින් හිතුවේ නැහැනේ. රත්නපුරේ මේ වගේ තත්ත්වයක් ඇතිවෙයි කියල අපි හිතුවේ නැහැනේ. පුත්තලමේ වැඩ බිම් ආශ්‍රිතව මෙහෙම රෝගීන් වාර්තා වෙයි කියල අපි හිතුවේ නැහැනේ. ගාල්ලෙන් මේ වගේ රෝගීන් ප්‍රමාණයක් එකපාර වාර්තා වෙයි කියල අපි හිතුවේ නැහැනේ. ඒ නිසා පැහැදිලියි අපි හිතන්නේ නැති බලාපොරොත්තු වෙන්නේ නැති ආකාරයට තමයි රෝගය ව්‍යාප්ත වෙන්නේ.'' 

ඒ අනුව නිවැරදි මොහොතේ නිවැරදි තීරණ ගනිමින් තත්ත්වය කළමනාකරණය කරගත යුතු අතර විශේෂයෙන් කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශයේ තත්ත්වය කළමනාකරණය කිරීම තුළින් එතැනින් එහාට මෙය ව්‍යාප්තිය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවද අළුත්ගේ මහතා සඳහන් කරයි. 

මෙහිදී විශේෂයෙන් ජනතාවගේ සහය ඉතා වැදගත් අතර අවබෝධයෙන් මෙයට සහය දිය යුතු බවත් අවදානම නිසි ලෙස තක්සේරු කර එය නිවැරදිව ජනතාව වෙත සන්නිවේදනය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි. 

Rate this item
(0 votes)

Related items