May 20, 2024

"විමලේ මාමා කැස්බෑ ලේ බීලා අමු මාළු කෑවා - අමුවෙන් මාළු කන්න පුළුවන් කියලා දැනගද්දී මට වයස 14" Featured

December 05, 2020

පසුගිය දිනක සජීවි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ දිලීප් වෙදආරච්චි මහතා ප්‍රසිද්ධියේ අමු මාළු කෑම දෙස් විදෙස් මාධ්‍ය බොහෝමයක් වර්තා කර තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය විරෝධයද එල්ල කර තිබුණි. 

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එහිදී සඳහන් කර තිබුණි.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ මාළුන්ගේ සම තුළ ඇති බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවී වර්ග ආහාර ජීර්ණ පද්ධතියට දැඩි ලෙස හානි කළ හැකි බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා තිබුණේ ඔවුන් තමන්ට අපහාස වන අයුරින් කතා කළ බවයි.

නමුත් තමන් වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව තර්ක කිරිමට නොයන බවත්, ඔවුන් දෙවිවරුන් වැනි මිනිස්සු බවත් එහිදී ඔහු කියා තිබුණි.

අමුවෙන් මාළු ආහාරයට ගැනීමට හැකි බවත් එයින් රෝග නොසෑදෙන බවත් තමන් 14 වැනි වියේ පසු වූ බවද හිටපු අමාත්‍යවරයා කියා සිටියේය. 

1970 වසරේ දී සිදු වූ සිදුවීමක් ද සිහිපත් කරමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ එකළ ධීවර අමාත්‍යංශයෙන් මාළු ඇල්ලීම සඳහා ට්‍රෝලර් බෝට්ටුවක් ලබා දුන් බවයි.

එම බෝට්ටුවේ සේවය කළ "තංගල්ලේ විමලේ මාමා" නම් පුද්ගලයා විසින් බෝට්ටුව සාගරයේ අතරමං වූ අවස්ථාවක ආහාර ගැනීමට දෙයක් නොමැති වූ විට කැස්බෑ ලේ පානය කොට අමු මාළු කමින් ජීවිත්ව සිටි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුව එම පිරිස පාකිස්ථානය දක්වා ගසාගෙන ගොස් තිබුණු බවත් පාකිස්ථානය විසින් නැවත ඔවුන්ව ශ්‍රී ලංකාවට පිටත් කර එවූ බවද පැවසූ දිලීප් වෙදආරච්චි මහතා කියා සිටියේ එකළ තංගල්ල ප්‍රදේශයේ දී එම පිරිස පිළිගැනීම සඳහා  උත්සවයක් සුදානම් කර තිබූ බවයි.

එම උත්සවයට තමන්ද සහභාගී වූ බවත් එකළ තමන්ට වයස අවුරුදු 14ක් බවත් ඔහු කියා සිටියේය. 

එම උත්සවයේදී අතරමං වූ ධීවර යාත්‍රාවේ ගමන් කළ පිරිස කියපු කතාවලින් තමන් අමු මාළු කෑමට හැකි බව දැනගත් බවද ප්‍රකාශ කර තිබුණි. 

ඔහු මේ බව සඳහන් කර තිබුණේ සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

 

Rate this item
(0 votes)