May 03, 2024

පොඩි ලැසීගේ සමීපතමයෙක් අත්අඩංගුවට

November 01, 2020

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් අහුංගල්ල ප්‍රදේශයේ දී විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ අහුංගල්ල අම්පේ පාර, පාතේගම සිදුකළ වැටලීමකදීය.

එහිදී අදාළ සැකකරු සන්තකයේ තිබී ගිනිඅවියක්, ජංගම දුරකථනයක් සහ මෝටර් රථයක බවට විශ්වාස කෙරෙන අංක තහඩු දෙකක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

මේ අතර ගිනිඅවි සමග සැකකරුවන් දෙදෙනෙකු යටියන්තොට සහ විනයාගපුරම් ප්‍රදේශයන්හි දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කිතුල්ගල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (31) සිදුකළ වැටලීමකදී යටියන්තොට, වැලිහෙලතැන්න ඉහළ ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

අදාළ සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (01) රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර තිරුක්කෝවිල් පොලිසිය සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග විනයාගපුරම් ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන සැකකරු අක්කරපත්තු මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)