May 17, 2024

පෝර්ට් සිටි වන්දියට නයිට් රේස් භූමියෙන් කොටසක්

ජනාධිපති‍ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැතිවරයාගේ චීන සංචාරවලදී ඇති වූ සුහදත්වය මත පෝට් සිටි ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් සිදුවූ අලාභය ශ්‍රී ලංකා රජයෙන් අය කර නොගැනීමට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් තීරණය කර ඇතැයි රජය ප්‍රකාශ කරයි.

අද (02) කැබිනට් තීරණ දැනුම්දීම නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය වූ අතර එම අලාභය වෙනුවට අදාළ ව්‍යාපෘති භූමියේ රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ සඳහා වෙන්කර තිබූ හෙක්ටයාර 02ක කොටසක් එම සමාගමට ලබාදීමට එකඟතාවය පළ වී තිබේ.

ඒ අනූව ව්‍යාපෘතිය අත්හිටුවීම, නැවත ආරම්භ කිරීම හා ද්‍රව්‍ය අපතේ යාම යනාදි වශයෙන් එම චීන සමාගමට ගෙවීමට තිබූ වන්දිය ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදු නොවනු ඇත.

අවශ්‍ය පාරිසරික නිෂ්කාෂණ ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පෙර පැවැති පාලනයට නොහැකිවීම හේතුවෙන් පෝට් සිටි ව්‍යාපෘතිය අත්හිටුවීම නිසා අදාළ සමාගමට වන්දි ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබූ නමුත් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ චීන සංචාර මත එය වැළකී ගිය බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව සතු පුපුරණ ද්‍රව්‍ය ජනශූන්‍ය ප්‍රදේශයක ගබඩාවක් ඉදිකර එහි ආරක්ෂිතව තැබීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද ප්‍රකාශයට පත්විය.

ඒ අනූව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවකට අනුමැතිය ලැබී ඇති අතර මේ යටතේ අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූකූලව පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂිතව තැබීමේ ගබඩාවක් ඉදිකිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 August 2016 13:56