May 17, 2024

රාජපක්ෂවරු පලවා හැරීමට මන්ත්‍රීවරු පිරිසකගේ සූදානමක්

රට අමතක කොට පවුල සංවර්ධනය කිරීමට යෑම නිසා ජනතාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අහිමි වූ රාජපක්ෂ පවුල අද තමන්ට අහිමි දේ කිසිවෙකුටවත් හිමි නොවිය යුතු ය යන සංකල්පයේ පිහිටා පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවත් වහාම ඔවුන් පක්ෂයෙන් පලවා හැරිය යුතු බවත් මධ්‍යම පළාත් මහාමාර්ග, විදුලිබල හා ප්‍රවාහන අමාත්‍ය ශ්‍රීලනිප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික එදිරිවීර වීරවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යය නිල නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ රාජපක්ෂවරුන් හා එක්ව පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන පිරිස සම්බන්ධව පක්ෂය තවමත් තීන්දුවක් නොගන්නේ මන්දැයි තමන්ට ප්‍රශ්නයක් පවතින බවත් ඔවුන් පක්ෂයෙන් ඉවත්කර මුල සිට හෝ පිරිසිදු පාක්ෂිකයින් සමඟ ගමනක් යෑම පක්ෂයේ යහපතට හේතුවනු ඇති බවත් ය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අදහස් දක්වමින් කියාසිටියේ එදා ශ්‍රීලනිපයෙන් නාමයෝජනා ලැබ පක්ෂයට ලැදි ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි පිරිස් අද තමන් ලැබූ තනතුරු උරුමයක් සේ සලකා ක්‍රියාකරන බවත් ඒ සියල්ල ඔවුන්ට හිමිවූයේ පක්ෂය නිසා බව ඔවුන්ට අමතකවීම කණගාටුවට කරුණක් බවත් ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, බල ලෝභය මත තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ විට තමන්ට ඉදිරියට ඒමට පිහිට වූ පක්ෂය දෙකඩකර අවුල් ඇති කිරීමට කිසිවෙකු ක්‍රියාකරන්නේ නම් එය පාක්ෂිකයින් සියළුදෙනා එකතු වී ඔවුන් පරාජය කළ යුතු බවත් අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට මධ්‍යම පළාත් මභාවේ මන්ත්‍රීවරු, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් ආයතන සභාපතිවරු ඇතුළු ශ්‍රීලනිප ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මහනුවර - කමල් සුරවීර

Rate this item
(2 votes)
Last modified on Thursday, 07 July 2016 16:29