May 21, 2024

මැතිවරණය අවසන් වන තෙක් දේශපාලඥයින්ට රාජ්‍ය උත්සව තහනම්

රජයේ හෝ පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල කිසිදු උත්සවයකට ලබන 18 වැනිදා දක්වා කිසිදු අපේක්‍ෂකයකු හෝ පළාත් සභා, පළාත් පාලන දේශපාලනඥයකු සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස රජයේ නිලධාරීන්ට මැතිවරණ කොමසාරිස්‌වරයා උපදෙස්‌ දී ඇත.

ඒ අනුව කිසිදු ව්‍යාපෘතියක මුල්ගල් තැබීම්, ජනතා අයිතියට පත්කිරීම් හෝ ඒ හා සම්බන්ධ උත්සවවලට දේශපාලනඥයින්ව සහභාගී කර නොගන්නා ලෙසටයි කොමසාරිස්වරයා උපදෙස් දී ඇත්තේ.

මෙවැනි උත්සවවලට සහභාගී වීම මගින් දේශපාලනඥයින් තම අපේක්ෂකත්වය හෝ තම පක්ෂය ප්‍රචාරය කර ගැනීමේ උත්සහයක නිරත වන නිසා අනෙක් පක්ෂ සහ අපේක්ෂකයින්ට සිදුවිය හැකි අවාසිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

යම් හෙයකින් කොමසාරිස්වරයාගේ මෙම උපදෙස් නොසලකා හැරීම මගින් පක්‍ෂයට හෝ අපේක්‍ෂකයකුට ප්‍රචාරයක් සිදුව ඇති බවට ඔප්පු වුවහොත් එම උත්සවය සංවිධානය කළ රජයේ නිලධාරියා ඊට වගකිව යුතු බවට ද කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත.

සියලුම අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිසාපතිවරු, පළාත් සභා අමාත්‍ය ලේකම්වරුන්, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත කොමසාරිස්‌වරයා මෙම උපදෙස්‌ ලබාදී ඇති බව සඳහන් වේ.

Rate this item
(1 Vote)