May 10, 2024

රජයත් දෙමළ සන්ධානයත් සමග අවතැන් ජනතාවට සහන දෙන්න චන්ද්‍රිකා සූදානම්  

උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් ජනතාවගේ ජන ජිවිතය සංවර්ධනය කිරීම බලයට පත් වූ නව රජයේ වගකීමක් බවත් මේ වනවිට අවතැන් වූ සියලු ජනතාව වෙනුවෙන් දැන් විසඳුම් ලබා දිය හැකි බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ වවුනියාව, පූන්තෝට්ටමි අනාථ කඳවුර තුළ ජීවත්වන පවුල් 150 ක් වෙනුවෙන් ස්ථිර නිවාස 150 ක් ඉදිකිරීම වෙනුවෙන් මුල් ගල තැබීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය,

"ඔබ තනි වෙලා නැහැ. නව රජයෙන් මා හට මෙවනි දෑ ගැන සොයා බැලීමට පත් කිරීම ගැන මම සතුටු වෙනවා. අපි මේ ව්‍යාපෘතිය ඉදිරියටත් කරගෙන යනවා. ඊළඟට යාපනෙන් පටන් ගන්නේ. පළමුව යාපනේ වැසියන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. නැවත පදිංචි වැසියන්ගේ ගැටළු වෙනුවෙන් උපරිම සහන ලබා දීමට වත්මන් රජයත් දෙමළ ජාතික සන්ධානයත් සමග සාකච්ඡා කොට පියවර ගන්නවා." 

1990 හා 1991 වර්ෂවල දී වවුනියාව, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්වල පවුල් 20,000 කට ආසන්න පිරිසක් වව්නියාව පූන්තොට්ටම් සහ සිදම්බර පුරම් අනාථ කඳවුරුවල අවතැන් ව සිටි අතර කාලයාගේ අවෑමෙන් එහි සිටි වැසියන්ට පියවරෙන් පියව ස්ථීර නිවාස ලැබී ගිය ද දැනට ඉතිරිව සිටි පූන්තේට්ටම් වැසියන්ට ස්ථීර නිවාස නොලැබීම මත එම පවුල් දැඩි සේ පීඩා විඳි අතර නව ස්ථීර නිවාස ව්‍යාපෘතිය මගින් ඔවුන්ට නිවසක් මෙන්ම මූලික දෛනික ජීවනෝපාය වෙනුවෙන් මුදල් ප‍්‍රධානයක් ද සිදු කිරීමට නියමිතව ඇත.

එම අවස්ථාවට සහභාගී වූ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා, "වර්තමාන රජය හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියළු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. නව රජය හා ජාත්‍යන්තර සහයෝගිතාවය ලබාගෙන උතුරු නැගෙනහිර ස්ථිර නිවාස නොමැති සියලු දෙනා වෙනුවෙන් ස්ථිර නිවාස ලබාදීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන අතරම උතුරු නැගෙනහිර ගැටළුවලට සහන ලබා දීමට සියලු උත්සහයන් දරනවා." 

වන්නි රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)