May 21, 2024

ඥාණසාර හිමි සහ පොලීසිය අතර උණුසුම් වචන හුවමාරුවක් (VIDEO)

බොදු ජන පෙරමුණේ නායක ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඇතුළු පිරිසක් හා පොලීසිය අතර පසුගිය 8වෙනි දා රාත්‍රියේ වැලිපැන්න ප්‍රදේශයේ දී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

එදින පස්වරුවේ වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයේ ආඳාවෙල ගම්මානයේ බොදු ජන පෙරමුණේ මැතිවරණ රැස්වීමක් සංවිධානය කර තිබී ඇති අතර ඊට පොලිස් අවසරය ද ගෙන තිබී ඇත. නමුත් රැස්වීම සංවිධානය කර ඇති පිරිස පසුව තීරණය කර ඇත්තේ රැස්වීම අදාළ ස්ථානයේ නොපවත්වා ඒ ආසන්නයේ ඇති විහාරස්ථාන භූමියක් තුළ පැවැත්වීමට යි.

අවසර ගත් ස්ථානයේ රැස්වීම නොපවත්වා වෙනත් ස්ථානයක පැවැත්වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසමින් පොලීසිය පැමිණ රැස්වීම පැවැත්වීම වැලැක්වීමට කටයුතු කර ඇති අතර රැස්වීම සංවිධානය කළ බොදු ජන පෙරමුණෙහි ස්වාමීන්වහන්සේලා මෙහි දී පොලීසිය සමග උණුසුම් වචන හුවමාරුවක යෙදී ඇත.

පසුව ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් "කවුද රැස්වීම කරන්න දෙන්නෙ නැත්තේ" යැයි පවසමින් එම ස්ථානයට පැමිණි අතර පන්සලේ රැස්වීම් තහනම් කිරීමට මේ රටේ පොලීසියට බැරි බව ද තමන් සිදුකරන ජාතික රාජකාරියට බාධා කිරීමට පොලීසියටවත් මැතිවරණ කොමසාරිස්ටවත් බැරි බව ද පවසා පොලීසියට බැණවැදී තිබේ.

පසුව පොලිසීය නොසලකා හැරි ඥාණසාර හිමි ඇතුළු පිරිස එම විහාරස්ථානයේම රැස්වීම සිදුකිරීමට කටයුතු කර ඇති අතර පොලීසිය මෙම සිද්ධිය පිළිබඳව ඊයේ (10) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇත.

මෙය අත්අඩංගුවට ගැනීමට පවා හැකි තරම් වන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙන අතර සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 25 වෙනි දා සිදුකිරීමට නියමිත යි.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(1 Vote)