May 10, 2024

ජලය බහුජාතික සමාගම්වලට පවරන කැබිනට් පත‍්‍රිකාවක් ගෙනත් - විමල්ගෙන් අභියෝගයක්

දින 100න් අලුත් රටක් හදන බව පවසමින් බලයට ආ වත්මන් ආණ්ඩුව මේ රටේ මිනිසුන් නොමිලේ භුක්ති විඳින ලද ජලසම්පත ඉතාමත් නග්න ලෙස බහුජාතික සමාගම්වලට පැවරීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය. 

ඒ මහතා මේ බව පැවසුවේ අද(07) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“මට මතක හැටියට 2002 වසරේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ ජලය විකිණීමට ජල පනතක් ගෙනාවා. එය ජනතා විරෝධය හේතුවෙන් හකුළා ගත්තා. අද ඒ අරමුණ සඳහාම එම පනතම ගෙන ඒමට මේ ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කොට තිබෙනවා. එම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව මගින්, ගොවි ජනතාවට සහ පානීය ජලය ස්වාභාවික ජල මූලාශ‍්‍රවලින් ලබන ජනතාවට හොරෙන්, ඉතාම බරපතළ ලෙස අපේ රටේ ජල මූලාශ‍්‍ර බහුජාතික සමාගම්වලට පවරනවා. ඒ සඳහා වන ප‍්‍රතිපත්තිමය තීරණය තමයි මේ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවෙන් රැගෙන තියෙන්නේ. 2015-03-28 දාතම සහිත අංක 15/0483/614/009 දරන කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවෙන් තමයි මේ තීරණය රැගෙන තියෙන්නේ.

නියමිත ක‍්‍රමවේදය අනුව නම් මේ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ වාරිමාර්ග අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා විසිනුයි. මේ වන විට එම අමාත්‍යාංශය භාරව ඉන්නේ විජිතමුණි සොයිසා ඇමතිවරයායි. නමුත් වාරිමාර්ග අමාත්‍යාංශයෙන් නොවෙයි මෙම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ. මෙම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ජලසම්පාදන විෂය භාර අමාත්‍යවරයා වන රවුෆ් හකීම් මහතා විසිනුයි. ජල සම්පාදන අමාත්‍යාංශයෙන් මෙම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ඉදිරිපත් කළාම වාරිමාර්ග අමාත්‍යාංශය තම නිරීක්‍ෂණය එවා තිබෙනවා. එහි සඳහන් වන්නේ, ‘මෙම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව සුදුසු නැහැ. ඊට එකග වීමට බැහැ’ කියායි. වාරිමාර්ග අමාත්‍යාංශයේ මේ පිළිබඳ විශේෂඥයන් ඉන්නවා. ඔවුන් දන්නවා, ‘ස්වාභාවික ජල මූලාශ‍්‍ර බහුජාතික කොම්පැනි අතට ගියොත් මේ රටේ අහිංසක මිනිස්සුන්ට බොන්න වතුර ටිකවත් නැති වෙනවා’ කියලා.“

“අපි දන්නවා ලෝකයේ සමහර රටවල් තිබෙනවා, ජල මූලාශ‍්‍ර බහුජාතික සමාගම්වලට පවරපු. උදාහරණයක් විදියට පීරු රාජ්‍යය ගත්තොත් ඒ රටේ දුප්පත් ජනතාව, එක් ජල ඝන අඩියකට බහුජාතික සමාගම්වලට ඩොලර් තුනක් ගෙවනු ලබනවා. ඒ ඉරණමට තමයි මේ ආණ්ඩුව අපේ රටේ ජනතාව ඇදලා දාන්න යන්නේ. වාරිමාර්ග විශේෂඥයන්, වාරිමාර්ග ඉන්ජිනේරුවන් සිටින දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි. ඔවුන්ගේ උපදෙස් අනුව වාරිමාර්ග විෂය භාර අමාත්‍යවරයාට මේ කැබිනට් පත‍්‍රිකාවට අදාළ ප‍්‍රතිනිරීක්‍ෂණයක් දෙන්න වෙනවා, ‘මේක වැරදියි. මේකට එකග වෙන්න බැහැ’ කියලා. නමුත් වත්මන් අමාත්‍ය මණ්ඩලය එම නිරීක්‍ෂණය ඉවත දමලා ජලසම්පාදන විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම්ගේ 2015-03-28 දිනැති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබා දී තිබෙනවා.“ යැයි වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

“මේ කැබිනට් පත‍්‍රිකාවෙන් කියනවා, ‘පනතක් මගින් ජල ප‍්‍රතිපත්තිය සකස් කරනවා’ කියලා. ජලය කියලා කියන්නේ මහජනයාගේ මූලික අයිතියක්. මනුෂ්‍ය වර්ගයාට පමණක් නොවෙයි, සතා සීපාවාටත් මේ පොළොවේ වතුර ටික අයිතියි. ඒක අපට හිතුමතේට බහුජාතික කොම්පැනිවලට දෙන්න බැහැ. එහෙම දෙයක් ගැන ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත යුත්තේ මොන තරම් සංවාදශීලීවද? විද්වතුන් සමග මේ පිළිබඳ කොතරම් අදහස් හුවමාරුකර ගත යුතුද? මේ කිසිවක් මේ අය කළාද? දින 100න් අලූත් රටක් හදනවා කියලා ඇවිල්ලා, දීපු පොරොන්දු පත‍්‍රිකාවේ 90%ක් කරන්න බැරිව, ජනතාවට නොකියපු මේ වගේ භයානක දේවල් කරන්නේ කොහොමද? මේ රටේ ජලසම්පත පෞද්ගලික සමාගම්වලට පවරන පනතක් ගෙන එන්න කියලා කවුද ඉල්ලූවේ? පුළුල් සංවාදයකින් ගත යුතු වූ තීරණයක්, මේ අය මේ කැබිනට් පති‍්‍රකාව මගින් රහසිගතව ගෙන තිබෙනවා. 

මේ කැබිනට් පත‍්‍රිකාව අනුමතකර ගැනීමේදී වාරිමාර්ග අමාත්‍යාංශය නොසලකා හැර තිබෙනවා. ඔවුන් තමා මේ රටේ ජල මූලාශ‍්‍රවල සැබෑ භාරකරුවා. ඒ නිසා මෙතැනදී මේ ආණ්ඩුව බරපතළ වරදක් කර තිබෙනවා. මේ කැබිනට් පත‍්‍රිකාව අනුව ඔවුන් හදන්න බලාපොරොත්තු වෙනවා ජල මූලාශ‍්‍ර පිළිබඳ තීරණ ගන්නා ආයතනයක්. ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා, එහි උපදෙස් අනුවයි මේ ආයතනය හදනවා කියන්නේ. අපේ රටේ ජල කළමනාකරණයේ තිබෙන අඩුපාඩුකම් හුවා දක්වමින් තමයි මේ ආණ්ඩුව මේ ආයතනය හදනවා කියන්නේ. එහෙම හදන ‘ගංගා ද්‍රෝණි අධිකාරියෙන්’ ගන්නා පියවර මොනවාද? ගලායන ජලයට මිල නියම කිරීම. ඊට පසුව ඒ මිල පළාත් පාලන ආයතන වැනි රාජ්‍ය ආයතනවලින් අය කර ගන්නවා. කුඹුරට යන වතුර ටිකටත් මුදල් අය කරන්න පටන් ගන්නවා. නිවසකින් අපවිත‍්‍ර ජලය පිට කරනවා නම් ඒකටත් බදු ගෙවන්න වෙනවා. ළිඳක් කැපීම සඳහා මේ අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ළිඳ කපාපු ගමන් ළිඳට බදු ගෙවන්න වෙනවා. ඒ නිසා මෙතෙක් කලක් මේ රටේ මිනිසුන් ඇතුළු සියලූ ජීවීන් නොමිලේ භුක්ති විඳින ලද ජල සම්පත  ඉතාම නග්න විදිහට බහුජාතික සමාගම්වලට පවරන කැබිනට් පත‍්‍රිකාවක් මේ හදලා තියෙන්නේ. 

මේ රත්තරන් පොළොවේ තිබෙන ‘නිල් රත්තරන්’ ටික තමයි, වික‍්‍රමසිංහලා තමන්ගේ හිතවත් බහුජාතික සමාගම්කාරයන්ට මංකොල්ල කන්න ඉඩකඩ හදලා දෙන්නේ. අපි අභියෝග කරනවා, වාරිමාර්ග ඇමතිවරයාට හෝ ජලසම්පාදන අමාත්‍යවරයාට මේ පිළිබඳව විවෘත සංවදයකට එන ලෙසට. ‘මේක වහලා ගහන තුරුම්පුවක් නොවෙයි නම් මහත්වරුනි, තැන් තැන්වල මේ ගැන කතා නොකර විවෘත රූපවාහිනී සංවාදයකට පැමිණෙන්න’ කියලයි අපි අභියෝග කරන්නේ. 

අගෝස්තු 17 වැනිදා මේ රටේ ජනතාව සන්ධාන ආණ්ඩුවක් හදන බව ස්ථිරයි. ඒ අනුව 18 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හදන රජය යටතේ අපි මේ කැබිනට් පත‍්‍රිකාව අහෝසි කරනවා. ඒ විතරක් නොවෙයි නිදහස් ජල මූලාශ‍්‍රවල පොදු අයිතිය සුරැකීමට පියවර ගනු ලබනවා.“  යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.  

Rate this item
(0 votes)