April 26, 2024

ගාලු මුවදොර පිටිය අසලට ආ පොලිස් ට්‍රක් රථ යන්න යයි

අද (16) උදෑසන ගාලු මුවදොර  භූමිය අසල නවතා තිබූ පොලිස් ට්‍රක් රථ එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවට වාර්තා වනවා.

එමෙන්ම විරෝධතා පැවැත්වීම සඳහා ජනතාවට ඇති නීත්‍යානුකූල අයිතිය වැළැක්වීම සඳහා කිසිදු පියවරක් ගැනීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) රජයට අවධාරණය කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විශාල මහජන විරෝධයක් පවතින ගාලුමුවදොර පිටිය ආසන්නයට පොලිස් ට්‍රක් රථ ගණනාවක් ගෙන යන බවට විශ්වාසදායක තොරතුරු එහි සාමාජිකයන්ගෙන් ලැබුණු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල උලුප්පා දැක්වීමෙන් සහ බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමෙන් පසුව දැන් එම ට්‍රක් රථ ඉවත්කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව, රටේ මහජනතාවගේ සාමකාමී විරෝධය කුමන ආකාරයකින් කඩාකප්පල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ බලවත් අවධානය යොමුව තිබෙනවා.

එසේම එවැනි ඕනෑම උත්සාහයක් රටට, ප්‍රජාතන්ත්‍රවාදයට, එහි ආර්ථිකයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයිද ශ්‍රී ලංකා නීතීඥ සංගමය දක්වා තිබෙනවා.

Rate this item
(0 votes)