June 22, 2024

ෆේස්බුක් පෝස්ටුවක් නිසා රූපවාහිනියේ නිවේදිකාවකට රැකියාව අහිමි වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ මහත්මියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන්.

පාරමී රණසිංහ මහත්මිය පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි.

එම සටහන මෙසේයි,

"දවසට වේලක් කන්න වෙර දරන රටේ බහුතර මිනිස් ජීවිත ගැන අල්ප මාත්‍රයක වත් සංවේදීකමක් නැති බොල් චරිතයකට සහාය නොදැක්වීමට ගත් තීරණය සම්බන්ධව අදටද ඇත්තේ නිහතමානී සතුටකි..ඔහු තනනවායි කියූ සිරිපුරය ගැන හීන දහසක් මවාගත් උදවියට සිදුවුනේ කිසිම වැඩක් නොකර දිනපතා මහජන සම්පත,ගොවිසෙත මිලට ගත් මිනිසෙකුට අත්වූ ඉරණම පමණි."

ඉතින් ඒ පිළිබඳව ඉතාමත්ම කලකිරීමකින් යුතුව ඊයේ දින ඇය තම මුහුණ පොත හරහා අදහස් ප්‍රකාශ කරලා තිබුණෙ මේ විදිහට.

“පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.

අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි. රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි.

හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය. මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි…සදාකල් යෙහෙන් වැජඹේවා..නැවතුමක් නොවේ හැරවුමක් පමණි..”

 

Rate this item
(2 votes)
Last modified on Friday, 18 March 2022 09:33