May 18, 2024

පෙම්වතුන් වෙනුවෙන් වෙන්වූ අනංග දෙවොල (PHOTOS)

February 13, 2022

අතීතයේ සිට පැවත එන පෙම්වතුන් වෙනුවෙන් වෙන් වූ දෙවොලක් පිළිබඳ තොරතුරක් මාතලේ අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙට්ටියාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මාතලේ සිට රත්තොට ගම්මඩුව මාර්ගයේ ගමන් කරද්දී අඹන්ගඟ කෝරලේ, හෙට්ටියාවත්ත ප්‍රදේශයේ ප්‍රධාන පාරට මුහුණලා මෙම අනංග දෙවොල හමුවෙනවා. 

ලුණු දේවාලය, රාමන් දේවාලය යන නම්වලින් ද මෙම දේවාලය හඳුන්වනවා. 

මල් සරා, අනංගයා යනාදී විවිධ නම්වලින් හඳුන්වන අනංග දෙවියන් පිදීම සහ බාරවීම ආදිය මෙහිදී සිදුකෙරෙන බව ගම්වාසීන් පවසනවා. 

ගම්වාසීන් සඳහන් කළේ, ඉන්දියාවේ සිට වතු වැඩ සඳහා අතීතයේ මෙරටට පැමිණි දමිළ කණ්ඩායම් මෙම දෙවොල තනාගෙන ඇත්තේ ඉන්දියාවේ රාමන් දේවාල භුමියේ පස් මිටක් රැගෙනවිත් බවයි. 

එම ගම්මානයේ සිටින එස්. ආර්. සුන්දරලිංගම් මහතා සඳහන් කළේ, ප්‍රදේශයේ ජීවත්වන ආදරවන්තයින් එකතු කිරීම සඳහා අනංග දෙවියාගේ බැල්ම ලබා දීමට මෙන්ම මිනිසුන්ගේ ජීවන පැවැත්ම සඳහා ආදරය, ළෙන්ගතුකම් සහ ආශාවන් ඇති කිරීමේ දෙවියන් හැටියට අනංග දෙවියන් අදහන බවයි. 

මේ සම්බන්ධයෙන් අතීත කතා, ජනප්‍රවාද රැසක් පවතින අතර ඒ අනුව ඔවුන් සෑම වසරක ම අනංග දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම සිදු කරන බව ද ඔහු සඳහන් කළා. 

මෙම ස්ථානයට එන තරුණ වියේ පසු වන තරුණ තරුණියෝ වෙන වෙනම සහ දෙදෙනා එක්වම ප්‍රාර්ථනාවන් කරනවා. 

අනංග දෙවියන් හමුවේ තමන්ගේ සිත් ගත් පුද්ගලයා පිළිබඳව සිහි කොට පඬුරක් ගැට ගැසීම සිදුකරන අතර එම සිත් ගත් පෙම්වතාට පෙම්වතිය හිමි කර දෙන ලෙස අනංග දෙවියන්ට සිතින් පවා එම ස්ථානයට පැමිණ බාරවීම සිදුවන බව ගම්වාසීන් පවසනවා. 

ඒ අනුව, සෑම වසරක ම පෙබරවාරි මාසයේ අනංග දෙවියන් උදෙසා පවත්වන දින දාහතක පුද සත්කාර සහ විවිධ ඇදහිලි රැයක් පහන් වනතුරු පවත්වනවා. 

පසුව ආදරවන්තයින්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා වූ බාර ඔප්පු කිරීම ද සිදුකරන අතර බාරය ඔප්පු කිරීම සඳහා එම ස්ථානයේ අනංගයා නිරූපණය වන ආකාරයට සැරසුණු කණ්ඩායම් මල් දුන්නෙන් විද පෙම්වතුන්ට ආශිර්වාද කිරීම සිදුවන බව ගම්වාසීන් සඳහන් කළා. 

පසුව එම ස්ථානයේ අනංගයා විසින් දල්වන ලද ගිනි ගොඩකට ඔවුන්ගේ අරමුණු සඵලවීම් සනිටුහන් කරමින් ලුණු කැට ඉස බාරය ඔප්පු කිරීම සිදුවන බව ගම්වාසීයෙකු වූ සුන්දරලිංගම් මහතා වැඩිදුරටත් සඳහන් කළා. 

එම ස්ථානයේ වෙනත් කිසිදු ඉදිකිරීම් හෝ ස්මාරක නොමැති අතර අනංග දෙවියන් මල් මාල අතැතිව සිටින කුඩා තොරණක්, බෝධියක් සහ ලුණු දල්වන ස්මාරකය පමණක් දැක ගැනීමට හැකි වීම ද විශේෂත්වයක්. 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 February 2022 21:17