May 19, 2024

අර්බුද මැවූ පුෂ්පිකාගේ කිරුළ ගැලවෙයි!

February 08, 2022

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි, පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඒ බව තහවුරු කර තිබෙනවා.

එම නිවේදනයට අනුව දැක්වෙන්නේ, අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි පුෂ්පිකා ද සිල්වා මහත්මිය හට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීම මේ හරහා වාරණය කරන බවයි.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින්  පසුගිය ජනවාරි මස 25 වැනි දින ඇමැරිකාවේ දී තරඟ වැදුන අතර එහිදී ඇයට එම තරගයේ අවසන් 6 දෙනා අතරට පැමිණීමට හැකි වුණා.

එම සිද්ධියෙන් පසු තමාට හිමිවීමට නියමිතව තිබු ලෝක විවාහක  රූ රැජින කිරුළ කුමන්ත්‍රනකාරි ලෙස තමට අහිමි කළ බවට ඇය සමාජ මාධ්‍ය ඔස්සේ කිහිප දෙනෙකු වෙතම චෝදනා එල්ල කර තිබුණා.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2021 වසරේ අප්‍රේල් මස 04 වැනි දින නෙළුම් පොකුණ රගහලේ දී පැවැති තරඟයකින් පසු ශ්‍රි ලංකා විවාහක කිරුළ දිනා ගත්තා.

ශ්‍රි ලංකා විවාහක රූ රැජින කිරුළ පළදා සුළු මොහොතකින් ලෝක විවාහක රූ රැජිනව සිටි 2020 ශ්‍රි ලංකා රූ රැජින හා හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි මහත්මිය විසින් එය පුෂ්පිකාගෙන් ගලවා අනුශූරත්වය ලබාගත් තරඟකාරියට පැළද වීම නිසා හටගත් අර්බුධකාරි තත්ත්වය බොහෝ පිරිසගේ අවදානයට ලක් වුණා.

මෙම සිද්ධියෙන් පසු 2020 ශ්‍රි ලංකා රූ රැජින හා හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජින කිරුළ නැවත බාර දීමක්ද සිදු වුණා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනය පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 February 2022 08:41