May 19, 2024

මොරොක්කෝවේදී සමුගත් රයාන් යළි උපදී

February 08, 2022

උතුරු දිග මොරොක්කෝවේ ජීවත් වුණ පුංචි රයාන් හැමදාමත් පුරුදු වෙලා හිටියේ තාත්තාගේ ඇස් මානයේ ඉඳන්ම සෙල්ලම් කරන්න.

එක් නිමේෂයකින් තාත්තාගේ ඇස් මානයෙන් ඈත් වුණ පුංචි රයාන් මීටර් 32ක් පමණ ගැඹුරු පටු නළ ළිදකට වැටිලා තිබුණේ කවුරුත් අපේක්ෂා නොකල විදියට.

ගලවා ගැනීමේ කණ්ඩායම් දිවා රූ නොබලා පුංචි රයාන්ව බේරා ගන්න මහත් පරිශ්‍රමයක් දැරුවත් හැමෝගේම බලාපොරොත්තු සුන් කරමින් පුංචි රයාන් මෙලොව හැර යනවා.

මෙහෙයුම අතරතුර දරුවා නිරුපද්‍රිතව සිටින බව පසුගිය දින කිහිපය පුරා මාධ්‍යට නිකුත් වූ දර්ශන හැම හදතකටම මහත් අස්වැසිල්ලක් වුණා.

දරුවාට ජලය, ආහාර වගේ ම ඔක්සිජන් සපයා දෙන්න ගලවා ගැනීමේ කණ්ඩායම් පසුගිය දින කිහිපය පුරා මහත් පරිශ්‍රමයක් දැරුවා.

රයාන් හිර වෙලා හිටිය අඩි 100ක් විතර ගැඹුරු ස්ථානයට ආසන්න වෙද්දී මෙහෙයුම් කණ්ඩායමේ හිටපු හැම කෙනෙක්ම බලාපොරොත්තු තව තවත් වැඩි කර ගත්තා.

හෝරා කිහිපයකින් ඒ බලාපොරොත්තු සුනු විසුනු වෙලා ගියා.

පැය 100කට ආසන්න කාලයක් ක්‍රියත්මක වූ මෙහෙයුමේ අවසන් අදියරය වෙනකොට ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කලේ දරුවා ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන්න අවිනිශ්චිත බවයි.

තවත් මාධ්‍ය දරුවා හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා කර තිබුණා.

ප්‍රාතිහාර්යයක් සිදු වන බව තමන් තවමත් විශ්වාස කරන බවයි රයාන්ට ප්‍රතිකාර කරන්න මෙහෙයුමට එක් වූ වෛදවරුන් අවසන් මොහොත දක්වාම ප්‍රකාශ කලේ.

අවසන් මොහොතේදීත් දරුවාගේ දෛවය දෙවියන්ට භාර දීලා නොනවත්වාම මෙහෙයුම කරගෙන යන්න මුදා ගැනීමේ කණ්ඩායම් කටයුතු කලා.

දින හතරක සිට මහත් පරිශ්‍රමයක් දරමින් පුංචි රයාන්ව බේරා ගැනීමට කටයුතු කල ගලවා ගැනීමේ කණ්ඩායම් අවසන් මොහොතේ රයාන්ව රැගෙන පැමිණෙන මොහොතේ එම ස්ථානයට රැස්ව සිටි පිරිස් සතුට පිරි කඳුලෙන් ඔල්වරසන් නැගුවා.

කොහොම වුණත් දින ගණනක් මහ අදුරේ සීතලේ ගැහි ගැහී අම්මාගේ උණුසුම හොයපු රයාන් ලෝකයම හඩවමින් සදහටම යන්න ගියේ බලාපොරොත්තු දහසක් තද කරන්.

රෑ නිදිවරාගෙන බලාගෙන හිටපු රයාන්ගේ දෙමව්පියන්ට වේදනාව වචන වලට පෙරලගන්න බැරුව සුසුම් හෙලනවා.

මෙම සිදුවීමෙන් සුළු වෙලාවකට පසු මිය ගිය රයාන් වෙනුවෙන් තම අලුත උපන් බිලිදාට රයාන්ගේ නම තබන්නට තරම් පලස්තීනයේ පියෙකු සංවේදී වූ බව දැක්වෙන පුවතක් ට්විටර් මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

එක් නිමේශයකට දෙමව්පියන්ගේ ඇස් මානයෙන් ඉවත් වුණු දරුවෙක්ට වෙන්න පුලුවන් හානිය කොයිතරම්ද කියලා රයාන් මුළු ලෝකයටම ආයෙත් මතක් කරලා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 17:00