May 19, 2024

පස් කන්දට යට වූ හැටි ගැන ඇසින් දුටුවෙක් කියන කතාව

February 08, 2022

මහනුවර - වත්තේගම - මඩවල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පස් කන්දකට යට වී පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.

පස් කන්දට වූ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.

ආරක්ෂක ගල් බැම්මක් ඉදිකිරීම සඳහා අත්තිවාරම කපමින් සිටියදී එම පස් කන්ද කඩා වැටී තිබෙනවා.

එහි සේවය කරමින් සිටි සිව්දෙනෙකු ඊට යට වී ඇති බවයි පොලීසිය කියා සිටියේ.

මියගොස් ඇත්තේ පන්විල පූජාපිටිය කැටඹුලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අලුතින් ඉදිවන නිවසක් අසල බැම්මක් ඉදි කිරීම සඳහා කාණුවක් කපමින් සිටියදී ඊට ඉහළින් තිබූ පස් කන්ද කඩා වැටීමෙන් අනතුර සිදු වී තිබෙනවා.

යටවී ඇත්තේ එම ස්ථානයේ සේවය කරමින් සිටි පුද්ගලයන් බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පිරිස බේරා ගැනීම සදහා මහත් පරිශ්‍රමයක් දැරූ බව ප්‍රදේශවාසින් සදහන් කරනවා.

සිද්ධිය ඇසින් දුටුවෙක් මෙසේ සදහන් කළා,

"මම කඩේට යන්න කියලා ගෙදර ඉදලා එන විට වේලාව එකහමාර පහුවෙලා ඇති. කට්ටියක් කලබල වෙලා දුවනවා දැකලා මම ඇහුවා ඇයි කියලා. ඇහුවම කිව්වා පස් කන්දක් කඩා වැටිලා කට්ටියක් පස් කන්දට යට වෙලා කියලා. මමත් එතනට ගියා. පස් කන්දට හතර දෙනාම යට වෙලා හිටියේ. එක්කෙනෙක්ගේ හිස පේන්න තිබුණා. එයාගේ මූණ තුවාල වෙලා ලේ එනවා දැක්කා. අනෙක් අය පේන්න හිටියේ නැහැ. කට්ටිය උඩට අරන් ත්‍රීවීල් වලින් කටුගස්තොටට අරන් ගියා. කතා කරන්න පුලුවන් කෙනා කිව්වා මම නාවලපිටියේ කියලා. අනික් අය කතා කළේ නැහැ."

මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර කටුගස්තොට රෝහලේ තැන්පත් කර තිබෙනවා.

තුවාල ලබා සිටින පුද්ගලයා මහනුවර රෝහලට මාරු කර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳ වත්තේගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 12:00