April 26, 2024

පියා සමඟ තනි වූ මව් සෙනෙහස අහිමි වූ නිවුන් දැරියන් (PHOTOS)

නිවුන් දියණියන් ඉපදී දින 14ක් ගතවෙද්දි මව ලොව හැර යාමත් සමඟ දහසක් කරදර මැද්දේ ආර්ථික දුෂ්කරතාවයන්වලට ලක්ව නිවුන් දියණියන් ජීවත් කරවන අපූරු පියෙකු මඩවල ආදාවල ප්‍රදේශයේ දී අපට හමු වුණා.

නමින් ඔහු ඒ.ජී.සුමිත් කුමාර කරුණාරත්න.

ආදර සම්බන්ධතාවයකින් සුමිත් කුමාර විවාහ වූයේ නිරෝෂා නිල්මිණි කුමාරි  සමඟයි. ඇය පසුගිය දෙසැම්බර් මාසයේ 16 වන දින නිවුන් දියණියන් දෙදෙනකු මෙලොවට දායාද කළා.

දරු ප්‍රසුතියෙන් පසු ඉතා නිරෝගීව සිටි තම බිරිඳ හතර වන දිනයේ මධ්‍යම රාත්‍රියේ එක වරම අසනීප වූ බවත් ඇයව ගිලන් රථයක් කැඳවා මාතලේ මහ රෝහලට රැගෙන ගිය බව සුමිත් පවසනවා.

එදා සිට දින 14ක කාලයක් ඇය ඇසක්වත් ඇර බැලුවේ නැති බවත් දින 14ක කාලයක් මාතලේ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවද ඔහු පැවසුවා.

නිරෝෂා නිල්මිණි කුමාරි ජනවාරි මස 14 වන දින සදහටම දියණියන් දෙදෙනාත්, සැමියාත් අත හැර ගිය බව දැඩි සංවේගයෙන් යුතුව අප සමග පැවසුවා.

තම බිරිඳගේ මියයාම සම්බන්ධයෙන් ඇයට කුමක් වූයේද යන්න තවමත් විශ්වාසයක් නැහැ. ඇයගේ ශරීරයේ කොටස් මේ වන විට පරීක්ෂණාගාර වලට යවා ඇති බව හෙතෙම සඳහන් කළා.

මාසයකුත් දින කිහිපයක් ගත වූ මෙම නිවුන් දියණියන් දෙදෙනා ජීවත් කර කරවීම සඳහා ඔහු විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙමින් සිටිනවා.

නිවුන් දරුවන්ගේ පියා ඉතා සංවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පියවරුන්ට කිරි එරෙන බව තමා අසා ඇති බවත් තමන්ට ද අනිවාර්යෙන් කිරි එරේවි යැයි විශ්වාසයක් පවතින බවයි.

එම විශ්වාසය කෙසේ ස්ථිර වේ දැයි අපට සිතාගත නොහැක. එහෙත් එතකම් දරුවන්ට කුසගින්නේ සිටීමට නොහැක.

ඒ.ජී.සුමිත් කුමාර කරුණාරත්න මහතාට උපකාරයක් සිදු කිරීමට මෙම දුරකථන අංකයට අමතන ලෙස අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

077 39 38 802

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 13:59