May 18, 2024

කුඩා දරුවන්, බිරිඳ නිවසේ සිරකර සැමියා කළ අමානුෂික වැඩේ - හේතුව කොරෝනා (PHOTOS)

December 21, 2021

වසරකට අධික කාලයක් සිට කොරෝනා වෛරසයට බිය වූ තම සැමියා, කුඩා දරුවන් දෙදෙනා සහ තමන් නිවසක දමා සිරකරගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත්ව ඇති බව පවසා 31 හැවිරිදි  බිරිඳක් ගලේවෙල මකුලුගස්වැව පොලීිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නිවසින් බැහැරවී ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම පැමිණිල්ල අනුව මකුලුගස්වැව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂකා ආර්.එන්.සි.දිල්හාරා මහත්මිය ඇතුළු කණ්ඩායමක් ගලේවෙල බඹරගස් වැව ප්‍රදේශයේ පිහිටි මෙම දරුවන් රඳවා ඇති නිවසට ගොස් කොරෝනා වලට බියේ සිරවී සිටින දරුවන් දෙදෙනාත් 31 හැවිරිදි එම සැමියා ද පොලිසියට රැගෙන ආ බව පොලීසිය පවසයි.

මෙම පිරිමි දරුවන් දෙන්නා 07 හා 09 වැනි වියේ පසුවන බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය අගෝස්තු මස 6 වන දින ද මෙම කාන්තාව මකුලුගස්වැව පොලීසියට පැමිණ තමන් සහ දරුවන් තිදෙනා කුඩා කාමරයක දමා කිසිදු ආකාරයකින් තම පුද්ගලික අවශ්‍යතාවයකට හෝ වැසිකිලි කැසිකිලි යාමට හෝ එළියට බැසීමට නොදී  කොරෝනා වැළඳේ යැයි කුඩා කාමරයක සිරකරගෙන සිටින බවට පැමිණිලි කළ බව පොලිසිය සඳහන් කරයි.

පසුව පොලිසිය නිවසට ගොස් අදාළ සැමියා දැනුවත් කොට මනසික වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබාදී නැවත නිවසට පිටත් කොට තිබුණු බව පොලීසිය පවසයි.

එහෙත් මෙම පුද්ගලයා  ප්‍රතිකාර ඉවත දමා නැවතත් සුපුරුදු පරිදි කොරෝනා බෝ වීම වැළැක්වීම සඳහා දරුවන් පාසලට නොයවා ඔහුද ලංගම බස් ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කළ ද සේවයෙන් පවා ඉවත්ව නිවසේ රැඳී සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මෙම පුද්ගලයා තම මව සහ පියා ගෙනැවිත් දෙන ආහාර දැඩි ලෙස පිරිසිදු කොට දරුවන්ට නිවස තුළට තබා කෑමට සකසා දෙන බවත් කිසිදු ආකාරයකින් නිවස ආසන්නයේ හෝ නිවෙස ඇතුළත වෙනත් බඩු මුට්ටුවක් හෝ අතපත ගෑම සිදු නොකරන බවට දැනුම් දීම සහ දරුවන් මෙන්ම ඔහු ද නිරන්තරයෙන් සබන් වතුර සහ විවිධ විෂබීජ නාශක දියර යොදමින් පිරිසිදු වෙමින් සිටින බව ම දෙමව්පියෝ පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.

ආහාර පිසීමට යොදා ගන්නා සහල් උර මෙන්ම සහල්ද උණු වතුර යොදා පිරිසිදු කිරීමෙන් පසුව නිවසට ගන්නා බවද ඔහුගේ දරුවන් හා දෙමාපියෝ පොලිසියට දන්වා තිබෙනවා.

මෙම තත්ත්වය ඉවසා ගැනීමටට නොහැකිවවූ අදාල දරුවන්ගේ මව මකුලුගස්වැව පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කොට නිවසෙන් පිටව ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පසුව මෙම දරුවන් දෙදෙනාත්  එම දරුවන්ගේ සීයා සහ ආච්චි අම්මා ද පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ කොරෝනා වෛරසය පිළිබඳව  දැනුවත් වූ මුල් අවධියේ සිට තම පුත්‍රයා එම වෛරසයට දැඩි ලෙස බියට පත්වූ බවයි. ඔහු ලංගම බස් ඩිපෝවේ සේවකයෙකු බවත් සේවය කිරීම පවා අතහැර දමා දරුවන් දෙදෙනාට සහ බිරිඳට මෙන්ම තමන්ට කොරෝනා වෛරසය ශරීරගත වීම වළක්වා ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටි බවත් ඔවුන් පොලීසියට ප්‍රකාශ කොට තිබෙනවා.

පොලිසියට රැගෙන විත් සිටියදී ද මෙම තිස් එක් හැවිරිදි දෙදරු පියා  කොරෝනා වෛරසය ශරීර ගත වේයැයි දැඩි බියකින් පසුවන බවත් තන්ට මානසික රෝගයක් නොමැති බව පවසමින් ප්‍රතිකාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටින බව පොලීසිය කියයි.

කෙසේවෙතත් පොලිස් භාරයට ගැනුණ මෙම දරුවන් දෙදෙනා සහ පියා වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගන්නා බව මකුලුගස්වැව පොලීසිය කියයි.

නිවසෙන් බැහැරව ගිය  බිරිදට  නැවත පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බව මකුළුගස්වැව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂකා  ආර්.එන්.සි. දිල්හාරා මහත්මිය පැවසුවා.

පොලිසිය අවස්ථා කිහිපයකම මෙම නිවෙසට යන අවස්ථාවන්හිදී කුඩා කාමරයක මෙම දරුවන් රඳවා ගෙන සිටි බවත් එම දරුවන්ට හිරු එළිය නොවැටීම නිසාවෙන් සහ ඇවිදීමට ඉඩ පහසුකම් නොමැති නිසාවෙන් දැඩි මානසික පීඩනයකට මෙන්ම ශරීර සෞඛ්‍යයද දැඩි ලෙස හානි වී තිබූ බව ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

මකුලුගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඩී.සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිනි උප පොලිස් පරීක්ෂක ආර්.එන්.දිල්හාරා මහත්මිය ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වයි.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 10:49