May 17, 2024

මෙරට කාන්තාවන් වෙන්දේසියේ - ජාවාරම හෙළි වෙයි (PHOTOS)

December 21, 2021

මෙරට කාන්තාවන් ඩුබායි රාජ්‍ය වෙත ගෙන ගොස් එහිදී වෙන්දේසි ක්‍රම හරහා අලෙවිකරන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඩුබායි රාජ්‍යයේ මෙරට තානාපති මල්රාජ් ද සිල්වා මහතා පවසනවා.

ඩුබායිහි කාන්තාවන් සිරකර සිදු කරන එම ජාවාරම පිළිබඳ අනාවරණය වීමෙන් පසු තානාපතිවරයා මේ බව දැනුම් දුන්නා.

ඇය ප්‍රකාශ කලේ සංචාරක වීසා මත මෙරටින් යවන කාන්තාවන් ඩුබායි රාජ්‍යයේදී රුපියල් ලක්ෂ 10 බැගින් වෙන්දේසි ක්‍රමයට විදේශිකයන්ට විකුනණ බවයි.

ඩුබායි රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මේ සම්බන්ධයෙන් දැක්වුයේ මෙවන් අදහසක්,

"ඒ ගොල්ලෝ කරන්නේ විසිට් විසා එකක් හදලා මේ කට්ටියව ගේනවා. ඊට පස්සේ ඕක තමයි ප්‍රශ්නේ වෙන්නේ ඒ කට්ටියව හිර කර ගන්නවා. තව ක්‍රමයක් කරනවා මෙහෙට ගේන්නේ නැතුව ඉස්සෙල්ලා ගෙනියනවා ඕමාන් වලට. ඕමාන් වලින් පන්නනවා මේකේ ඇතුලට හොරෙන්.එගොල්ලන්ව දානවා නරක වැඩ වලට. අපි බුද්ධි අංශයක් දාලා මම මෙහෙන් තොරතුරු සපයනවා. ඒගොල්ලෝ අල්ලලා මිනිස් ජාවාරම් මත නඩු දානවා."  

සංචාරක වීසා වලට ඩුබායි රටේ ගෘහ සේවය සඳහා රැගෙන ගිය කාන්තාවන් 200කට පමණ අධික පිරිසක් ඩුබායිහි නිවසක කාබර වල සිරවී සිටින බව එම ස්ථානයෙන් මිදී මෙරටට පැමිණි කාන්තාවක විසින් හෙළිදරව් කළා.

දඹුල්ල සුමංගලපුර ප්‍රදේශයේ පදිංචි ඉෂාරා කල්හාරි මහත්මිය මාධ්‍යවේදීන් කැඳවා තමන් අත්විඳි මෙම සිද්ධීන් පිළිබඳව හෙළිදරව් කිරීමට ඉදිරිපත් වූවා.

මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේේ ලියාපදිංචි වී ඇති විදේශ සේවා නියෝජිත ආයතන හරහා ඩුබායිහි ගෘහ සේවය සඳහා මෙරට කාන්තාවන් මේ දිනවල විශාල වශයෙන් යවන බවත් එම සෑම අයෙකුම සංචාරක වීසා වලට ගොස් එරට නියෝජිත ආයතනයක රඳවාගෙන රැකියා වලට යොමු කිරීම් සිදුකරන බවද ඇය සඳහන් කළා.

මෙසේ ගෘහ සේවය සඳහා රැගෙන යන කාන්තාවන් මාස කිහිපයක් ගත වන තුරුත් එම ස්ථානවල රඳවාගෙන විවිධ දුක් කම්කටොලු ගැහැට විඳීමට සිදු වී තිබෙන බවත් එහි රැඳී සිටින මෙරට රැකියා උප නියෝජිත කණ්ඩායම් මෙරට සිට  යන ගෘහ සේවිකාවන්ට විවිධ හිරිහැර කරදර සිදු කරමින් ආහාර පවා සීමා කිරීම වල නිරතව සිටින බව ද ඇය පැවසුවා.

ඩුබායිහි රඳවාගෙන සිටිය දී තමන් සියසින් අත් දුටු දේ පිළිබඳව ඇය මෙසේ විස්තර කළා.

"මම ජීවත් වෙන්න විදිහක් නැතුව දරුවෝ දෙන්න හදාගන්න තමයි රට යන්න තීරණය කළේ. පුංචි පැලක ජිවත් වෙන්නේ මම. කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන එකට ගිහිල්ලා පාස්පෝට් සියල්ල බාර දීලා තමයි රට යන්න සූදානම් වුණේ. මට මාසයකට සංචාරක වීසා ගහලා දුන්නා ඩුබායි යන්න. ඒ අනුව මම ගියා ඩුබායිවලට."

"අපි ඒ රටට ගිහිල්ලා ඉන්නකොට ගුවන්තොටුපොළෙන්ම මහතෙක් ඇවිල්ලා අපිව අරන් ගියා . අරන් ගියපු තැනට ඇතුල් වෙන කොටම අපේ ජංගම දුරකථන ඔක්කොම ඒ අය ගන්නවා. පුංචි කාමරයක දානවා .දාලා කවුරු හරිහරි අපිව ගන්න අවම හිනාවෙලා ඉන්න කියලා කියනවා. ගෙදරින් එන ඇමතුමක්වත් අපට ගන්නවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. කලාතුරකින් අපිට ඇමතුමක් ගන්න ඕනේ කිව්වම ස්පිකර් දාලා කතා කරන්න ඕන.ඒ අයගේ අඩුපාඩු එතන තියෙන සිද්ධීන් කිසිවක් කියන්න තහනම් කරලා තමයි තියෙන්නෙ. එතැන විශාල පිරිසක් කාන්තාවෝ ඉන්නවා රස්සාවකට යන්න බැරුව."

"හැමදාම වගේ ඒ රටේ බාබලා එතෙන්ට එනවා ආපුහාම අපි එක් එක්කෙනා එයාලට පෙන්වනවා. ගාන කතා කරනවා. අපට කියනවා හිනාවෙලා ඒ අයට මූණ දෙන්න කියලා. අපි බැරිවෙලාවත් මුහුණ අසතුටෙන් හිටියොත් හොඳටම බනිනවා. විනාඩි කිහිපයයි වැසිකිලියකට යන්න දෙන්නේ. සීමිත කාලයක් පරිප්පුයි, බතුයි තමයි කන්න දෙන්නෙ. බිම තමයි  නිදාගන්න තියෙන්නේ. අපි හරියට හිරකාරයෝ වගේ පුදුමාකාර දුකක් විඳින්නේ එතන ඉන්න හැමෝම ඒ වගේ තමයි."

"මම හිතන විදියට අපේ රටේ කාන්තාවෝ 250කට වැඩිය කණ්ඩායමක් මේ අය ළඟ රඳවලා  තියෙනවා. මම මේ සිද්ධිය දැක්කට පස්සේ විදේශ රැකියාව, ගෘහ සේවය එපා වුණා. මාසෙක සංචාරක වීසා නිකුත් කරලා ඒ රටේ අපිව බාර ගන්න කවුරු හරි බාබා කෙනෙක් හිටියොත් තමයි අවුරුදු දෙකක ගෘහ සේවය සඳහා නිසා නිකුත් කරනවා කියලා කියන්නේ. හැබැයි අපට කියන්නේ නිවසක් තියෙනවා ඒ නිවසේ කට්ටිය හොඳයි අහවල් නිවසට තමයි යන්නේ කියලා සියල්ලම දැනුවත් කරනවා. සමහර වෙලාවල් වලට ඒ නිවසේ කට්ටියත් එක්ක කියලා කතා කරන්නත් දෙනවා. හැබැයි එතෙන්ට ගියාට පස්සෙේ සිද්ද වෙන්නේ වෙනම දෙයක්."

"මම අසනීප උනා කන්න බොන්න නැතුව ගොඩක් අමාරු වුණා. දින දහයක් පමණ ගත වෙද්දී මට අඩුම තරමේ නැගිට ගන්නවත් බැරි තත්ත්වයකට පත් වුණා. මම ලංකාවේ රැකියා ආයතනයට කතා කරලා කිව්වා ගොඩක් අමාරුයි කියලා ඒ වගේම දිගටම බඩගින්නෙ ඉඳලා ලේ වමනෙ යන්න පවා ගත්තා  පස්සේ මාව නැවත ගෙන්න ගත්තා. එතන හිර වෙලා ඉන්න ගොඩක් අය දුක් විඳිනවා. ඩුබායි වලට සංචාරක විසා වලින් ගිහිල්ලා මේ වගේ අපේ  කාන්තාවෝ දුක් විඳින නිසා මට කිව්වා බය නැතුව රටට ගිහිල්ලා මේවා හෙළි කරන්න කියලා. මම ඇස් දෙකෙන් දැකපු දේ තමයි රටට හෙළි කරන්න තීරණය කළේ. අපේ රටේ කාන්තාවන්ට සිද්ධවෙන දේ සොයා බලන්න කියලයි ඉල්ලා සිටින්නේ."

මෙම කාන්තාව ඩුබායි සේවය සඳහා සංචාරක වීසා වලට යැවූ කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රැකියා ආයතනයේ නියෝජිතයෙකුගෙන් ඒෂියන් මිරර් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඩුබායි රැකියා වලට යවන සෑම බහුතරයක් කාන්තාවන් සංචාරක විසා වලට යවන බවයි.

සංචාරක වීසාවලට යන කාන්තාවන් එම රටේ රැකියාවක් සොයා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර දෙකක වීසා එරටින් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් මෙම කාන්තාව අසනීප වීම නිසා නැවත ලංකාවට රැගෙන ආ බවද ඔහු පැවසුවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතාගෙන් ඒෂියන් මිරර් අප කළ විමසීමේ දී කියා සිටියේ ඩුබායි රටට යන අවස්ථාවන් රැසක් සංචාරක වීීසා වලට යැවීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බවයි. එම අයට හාම්පුතෙකු ලැබුණු පසුව විසා දික්කර දෙන බවත් නැවත රැකියා නියෝජිත ආයතනය විසින් කාර්යාංශයට දැනුම් දිය යුතු බවත් ඒ අනුව සංචාරක විසා වලට ඩුබායි වලට යැවීම සිදු කරන බවයිඔහු සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 10:51