May 03, 2024

"මේ පාර නිවාඩුවට අපි ඔහේ එන්නම් කියපුහම මහත්තයා හිනා වුණා" - ප්‍රියන්තගේ බිරිඳ කියන සංවේදී කතාව

December 09, 2021

පසුගිය දවසක ලංකාවම හඬවමින් සිදුවූ අදහාගත නොහැකි සිදුවීමක් තමයි පකිස්ථානයේ  කර්මාන්ත ශාලාවක වැඩ කරපු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ අවාසනාවන්ත ජීවිත සමුගැනීම. පකිස්ථානයේ අමානුෂික කැරලිකාර කණ්ඩායමක් විසින් සිදු කරපු මේ අහස පොළොව නුහුලන අපරාධය නිසා අද ආදරණිය බිරිඳට සහ කිසිවක් නොදන්න දරුවන් දෙදෙනකුට තමන්ගේ පියතුමා නැතුව යනවා.

තමන් වැඩ කරන කර්මාන්තශාලාවේ දියුණුව උදෙසා නිතරම කැපවූ ප්‍රියන්ත මහතා සතියේ දවස් හතම වැඩ කළේ රැකියාව කරපු ආයතනයේ  දියුණුව උදෙසායි. පකිස්තානයේ ඉඳන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවු ඔහු අද ඉතාමත් අවාසනාවන්ත විදිහට අපෙන් සමු අරගෙන අවසන්.

මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් පකිස්තානය තුළින් ශ්‍රී ලාංකිකයන්ට අත් විදින්නට සිදු වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් අවාසනාවන්ත විදිහට එක්තරා දවසක ඔවුන්ගේ ක්‍රියාවකට ගොදුරු වුණා. මේ සිදුවීම් එකක් නෑර සලකා බලන විට සේවකයෙක් විදිහට හෝ ස්ථිර පදිංචි කරුවෙක් විදියට හෝ මේ වගේ රටකට යන්න ඕනෙම කෙනෙක් දෙපාරක් හිතනවා නොඅනුමානයි.

ප්‍රියන්ත කුමාර මහතාගේ මේ හදිසි වියෝව පිළිබඳව ආදරණීය බිරිඳත් දරුවන් දෙදෙනාත් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට ඒක අදහා ගන්න බැරි සිදුවීමක් බවට පත්වෙනවා. ප්‍රියන්ත මහතාගේ ලොකු පුතා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආදරණීය දරුවෙක්.

ඔහු තමන්ගේ පියාගේ  නොසිතූ අදහාගත නොහැකි මේ වෙන්වීම පිළිබඳව කඳුළු පිරි දෙනෙතින් අදහස් දක්වන්නෙ මේ විදිහටයි. අවසානයට තාත්තව දැක්කේ 2019 මාර්තු අග. මාර්තු ඇවිත් අප්‍රේල් මුල එයා ගියා. තාත්තා වෙනුවෙන් අපි සාධාරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ දෙයක් ඇත්තටම සිදු නොවිය යුතු දෙයක්.

ඔහුගේ ආදරණීය වැඩිමහල් පුත් ඒ විදිහට අදහස් දක්වන අතර දෙවැනි පුතා වැලිපිල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මේ සියලුම සිදුවීම් දරාගෙන තමන්ගේ ආදරණීය දරුවන් දෙදෙනා සමඟ සිටින මේ සෙනෙහෙබර බිරිද  සඳහන් කරන්නේ අවසන් වරට ඇය ඔහුට කතා කරන විට ඔයාට එන්න නිවාඩු නැත්නම් අපි ඔහේ එන්නම් කියලා කිව්වහම එයා හිනා උනා කියලයි.

තමන්ගෙ සෙනෙහෙබර බිරිඳට මම හෙට හවසටත් ඔයාට කතා කරන්නම් කියලා දුරකථනය තිබ්බ ප්‍රියන්ත කුමාර මහතා පසු දින අවාසනාවන්ත විදිහට මේ ආකාරයෙන් ජීවිතය සමු ගනී කියලා කවුරුත් හිතන්න නැතුව ඇති. ඔහුව බේරගන්න ඉදිරිපත් වුණේ එකම එක පුද්ගලයෙක් විතරයි. නමුත් ඒ දරුණු මිනිස්සුගේ හැසිරීමට  මේ පුද්ගලයාට  ප්‍රියන්ත කුමාර මහතාගේ ජීවිතය බේරා ගැනීමට ඔහුට නොහැකි වුණා.

ප්‍රියන්ත සහ මේ ආදරණීය බිරිඳ පෞද්ගලික ආයතනයක වැඩ කරන කාල සීමාවක තමයි හම්බවෙන්නෙ. ඊට පස්සේ පෙම්වතුන් වෙන ඔවුන් දෙදෙනා විවාහය උනාට පස්සේ පවුලේ සුබසිද්ධිය උදෙසා ප්‍රියන්ත මහතා 2010 සැප්තැම්බර් 19 වැනිදා විදේශගත වෙන්න තීරණය කරනවා. එතැන් පටන්  කිහිප අවස්ථාවකදීම ලංකාවට ඇවිල්ලා තමන්ගේ ආදරණීය දරු පවුල බලලා ගියපු ඔහු හැමදාම කිව්වේ කීයක් හරි හොයාගෙන ලංකාවේ ස්ථීර පදිංචියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි. කෙසේ නමුත් ඔහු නොකියම අද දින යන්නට ගිහින්.

මේ අවාසනාවන්ත සිදුවීම නිසා  මේ වන විට මේ දරු පවුලට අවශ්‍ය කරන සාධාරණය ඉෂ්ට සිද්ධ කිරීමට  පකිස්ථාන රජය සහ ශ්‍රී ලංකා රජය ඇතුළු විදේශ සේවා නියුක්ති කාර්යාංශය අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා බොහෝ  අවස්ථාවන්වල දී සඳහන් කළා. ප්‍රියන්ත කුමාර මහතාගේ ආදරණීය බිරිඳ ඉල්ලා සිටින්නේ දරු දෙදෙනා සමග ඉදිරියට යන්නට ඇයට කළ හැකි උපරිම උදව් උපකාර රජයෙන් බලාපොරොත්තු වෙනවා කියලයි.

සියලුමදෙනා හඬවමින් ජීවිතයේ අනියත බව පසක් කරමින් ජීවිතයෙන් අවාසනාවන්ත විදිහට සමුගත් ප්‍රියන්ත කුමාර මහතාට අපි හදවතින්ම උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

Rate this item
(0 votes)