May 19, 2024

"දවස් ගණන් අඩපු මාව ආයේ කාටවත් වට්ටන්න බැහැ" - ශලනි තාරකා

ශලනි තාරකා අද වෙද්දී පුංචි තිරේ නැතුවම බැරි චරිතයක් වෙලා ඒ තරමට ශලනි දක්ෂතාවයෙන් ඉහලටම ගිහින් අවසන්. ඇයට ලැබෙන ඕනෙම චරිතයක් කරන්න ඇයට දැන් පුදුම හැකියාවක් තියෙනවා ඉතින් ශලනිගේ අලුත්ම තොරතුරු ටිකක් ඔබට ගෙන එන්න අපි හිතුවා. පසුගිය කාලේ වසංගතය නිසා ශලනි ටිකක් කලාවෙන් ඈත්වෙලා හිටියේ ඒ වගේමයි එක ටෙලිනාට්‍යකින් ඇය අයින්ම වෙලා ගියා ඒ වගේමයි වසංගතයට මුනදීපු ඇය විදපු කරදර ගැන ඒ කාලේ කරපු දේවල් ගෙවපු ජිවිතේ ගැන කිවුවේ මේ වගේ කතාවක්.

ඇත්තටම මට දැන් ගොඩාක් හොඳයි. සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඉඳලා හිටලා පොඩි පොඩි අපහසුතාවයක් නම් ඇතිවෙනවා. ඒවා ටික කාලයක් යනතුරු පවතිනවා කියලා වෛද්‍යවරුන් කියනවා. සමහරවෙලාවට කොන්දෙ අමාරුවක් ඇතිවෙනවා. පඩිපෙළවල් නගින්න අමාරුයි. ඒ නිසා රෑගත කිරීම් කරද්දී වුණත් ඒ ගැන පරිස්සම් වෙනවා.චලෝ කතාවේ තනිකරම තියෙන්නේ කදු පල්ලම් වල වැඩ නගින්න බහින්න පනින්න දුවන්න මේ හැමදේම එකේ තියෙනවා ඒවා කරන්න හොද නැති නිසාම මම ටික දවසක් ඈත් වෙලා හිටියා රගපාන එකෙන්.දැන්නම් වැඩ පටන් ගත්තා ඒ උනාට පරිස්සමින් දුවන්නේ පනින්නේ නැතුව වැඩ ටික කරගෙන යනවා.

රෑගත කිරීම් කරපු නාට්‍යයක ආසාදිත වුණු කිහිපදෙනෙක් හිටපු නිසා තමයි මමත් ආසාදිත වුණේ. ඒක දැනගත්ත වෙලාවේ නම් මේ පාර නම් හැදෙයි කියලා මට හිතුණා. එතෙක් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් මේ රෝගයෙන් බොහෝ පරිස්සම් වුණා. ඉතින් මේ පාර නම් හැදෙන්නේ නැතිව බේරෙන එකක් නැහැ කියලා හිතුවා. වෙනදා නම් ආසාදිතයින් මේ විදිහට ලොකුවට ගැටුනේ නැහැ. කොහොම හරි ඒ අය ආසාදිතයින් කියලා දැනගනිද්දිත් මටත් පොඩි පොඩි රෝග ලක්ෂණ ඇතිවෙලයි තිබුණේ. ඒ නිසා පී.සී.ආර්. පරීක්ෂණය කරන්නත් කලින්ම මමත් ආසාදිතයෙක් කියලා මම දැනගෙනයි හිටියේ. හැබැයි මම රෝගයට ලොකුවට බය වුණේ නැහැ. රෝග ලක්ෂණ මතු වෙද්දීම මම මට ආශ්‍රිත වුණු හැමෝවම දැනුවත් කළා.රෝගයෙන් ආරක්ෂා වෙන විදිය අපි හැමෝම දන්නවනේ ඒ නිසා මම බයවෙන්නේ නැතුව කරන්න ඕනේ ප්‍රතිකාර ටික කරගෙන පරිස්සමට කාලේ ගෙවුවා

ඇත්තටම මම අසාදිතයෙක් උනාට පස්සේ ගොඩාක් අය මට කතා කරලා හොයලා බැලුවා දවසට කෝල් මැසේජ් සෑහෙන ගොඩාක් ආවා ඇත්තටම ඒ මට ආදරේ කරන අය කියලා දැනෙද්දී මාර සතුටක් දැනෙනවා.තරුණ නංගිලා, මල්ලිලා අක්කි ඔයාට අසනීප වුණා කියලා දැනගත්තම අපේ අම්මා ඇඬුවා. ඔයා වෙනුවෙන් පඬුරක් පවා ගැටගැහුවා කියලා. මැසේජ් කරලා තිබුණා. ඒ ආදරය හරි වටිනවා. ඒ අය මාව පෞද්ගලිකව දැකලා, මුණගැහිලා නොතිබෙන්න ඇති. නමුත් චරිත තුළින් ඒ අය අපේ ජීවිතයට සමීපවෙලා තියෙනවා.ඒ වගේ ආදරයක් ලැබීමත් පිනක්. ඔය අතරේ අසනීප වුණු එකට කැමැති වුණු පිරිසකුත් ඉන්නවා. අසනීපවෙලා මැරිලා යනවා නම් හොඳයි කියලා හිතන අයත් ඉන්නවා.කැමති අය වගේම අකමැති අයත් ඕනේ තරම් ඉන්නවනේ.කොහොම හරි මට ලැබුණු ආශීර්වාදය නිසා මම ඉක්මණටම සුවපත් වුණා.

පසුගිය වසරේ මටත් චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් වසංගතය නිසා ඒ සියලුම දේ නතර වුණා. මේ පවතින තත්ත්වයත් එක්ක චිත්‍රපටයකට විශාල මුදලක් යට කරන්න නිෂ්පාදකවරු කමතිවෙන්නේ නැහැ. අද වෙද්දී අලුත් අධ්‍යක්ෂකවරුන් හොඳ නිර්මාණ කළත් ඒවා තිරගත කරන්න යාමේදී අවසරය හිමිවෙන්නේ හරිම අඩුවෙන්. මේ අලුත් දක්ෂ අධ්‍යක්ෂකවරුන්ට මුදල් ආයෝජනය කරන්න නිෂ්පාදකවරුන් මැලිවෙනවා. කොහොමටත් මට ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා තරමට චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්. ඒකට හේතුව මම දන්නේ නැහැ. එක්කෝ මම ඒ අධ්‍යක්ෂකවරුන්ට දක්ෂ මදි ඇති. එහෙමත් නැත්නම් ඔවුන්ට දුරකතන ඇමතුම් ලබාදෙනවා අඩු ඇති.මම අධ්‍යක්ෂකවරුන්ට කෝල් කර කර වැඩ ඉල්ලන්නේ නැහැ ඒ නිසා මට එහෙම වැඩ හම්බෙනවා අඩුයි.

මට දැන් පෙම්වතෙක් ඉන්නවද නැද්ද කියලා මම දැන්ම කියන්නේ නැහැ මගේ පෞද්ගලික ජීවිතය ගැන මම ප්‍රසිද්ධ කරන්න කැමැති නැහැ. මම විවාහ වෙනවා නම් ඒක ඒ කාලේදී සිදුවේවි. මට පෙම්වතුන් ඉඳලා තියෙනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතයට වඩා රංගන ජීවිතේ තමයි මිනිසුන් විවේචනය කරන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ. සමහරු අපේ ගෙවල්වල ඇවිත් ජීවත් වෙනව වගේ අපිට චරිත සහතික දෙනවා. මගේ පෞද්ගලික ජීවිතේ කවුරුවත්ම දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.මිනිසුන්ගේ කතන්දර එන කාලේ මාව නොමරා මරණ කාලවලට අපරාදෙනේ නිළියක් වුණේ කියල හිතිල තියෙනවා. හැබැයි එහෙම වුණා නම් මගේ ජීවිතේ මෙච්චර ශක්තිමත් වෙන්නේ නැහැ. මට දැන් මිනිස්සු කියන දේවල් ගාණක්වත් නැහැ.

ඇත්තටම මගේ හිත හයිය වුණේම ඔය මිනිස්සු ගහපු ගල් හින්දමයි. ඒ සිදුවීමෙන් පස්සේ මම පුදුමාකාරව මානසිකව වැටුණ කෙනෙක්. ඇතිතරම් අඬපු කෙනෙක්. මාස කිහිපයක් මම තනියම ඇඬුවා. දැන් මට කිසිම දේකට ඇඬෙන්නේ නැහැ. කලා ක්ෂේත්‍රයට ආයේ එන්නේ නැහැ කියන මානසිකත්වයේ මම හිටියා. නමුත් මගේ දෛවය ඊට වඩා වෙනස්. ස්වභාවදහම මාව ශක්තිමත් කළා. මගේ හෘද සාක්ෂිය මම වැරදි කරපු කෙනෙක් නෙමෙයි කියලා දන්නවා.ඒ නිසා ආයේ මාව වට්ටන්න කාටවත් හම්බෙන්නේ නැහැ මම දැන් මගේ ගමන ගොඩක් දුර ගිහින් ඉන්නේ ගහන තරමක් ගල් ගහන්නේ පල ඇති රුකට කියනවනේ ශලනි කියන්නේ දැන් ශක්තිමත් කෙනෙක්.ඉතින් මේ වගේ දෙයක් තමයි ශලනි මේ දවස් වල ජිවිතේ ගෙවන හැටි ගැන කිවුවේ.

Rate this item
(19 votes)
Last modified on Tuesday, 26 October 2021 21:44