May 19, 2024

"මගේ හෘද සාක්ෂිය මම වැරදි කරපු කෙනෙක් නෙවෙයි කියලා දන්නවා" - ශලනි තාරකා

2019 රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළියට වගේම ජනප්‍රියම නිළියට හිමි සම්මානය ද ලැබෙන්නේ එකම රංගන ශිල්පිනියකට. ඇය නමින් ශලනි තාරකා. ඒ ඇය විසින් රංගන දායකත්වය ලබා දුන් සිරස නාලිකාවේ විකාශනය වුනු ‘අපෝ’ ටෙලි නාට්‍ය සඳහා. ඇයට පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වෙ 1996 වසරේ  සුමති සම්මාන උළෙලේ දී චාන්දනී සෙනවිරත්න ආදරණීය රංගන ශිල්පිනිය. අවුරුදු විසි හතරකට පස්සේ එම වාර්තාව සම කරන්නට ශලනිට ලැබෙනවා.

ශලනි කියන්නේ බොහොම ආදරණීය වගේම බොහෝම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ක්ෂේත්‍රයට පැමිණෙන්නේ සිරස අවුරුදු කුමරිය ලෙස. කිරුළ ලැබුණට පස්සේ ඇයට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ ඔස්සේ වසර 13කට ආසන්න කාලයක් අද වෙනකොට ඇය ක්ෂේත්‍රයේ  බොහෝ නිර්මාණ කටයුතුවලට දායක වෙනවා. ඒ අතරින් ඇයට මෙවැනි සම්මාන වලින්ද උත්තේජනයක් ලැබිලා තිබෙනවා.

ශලනිට පසුගිය දවස් වල රූපගත කිරීම් සමග සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.ඒකට හේතුව වෙන්නේ ඇයට කොවිඩ් වැළඳීම නිසා. නමුත් මේ වන විට ඇය රෝගයෙන් සුවපත් වෙලා නැවතත් රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා තිබෙනවා. නමුත් කොවිඩ් වැළඳීමෙන් පසුව ගත කළ කාලය තුළ ඇය දිනපොතක් ලිවීමට පටන් අරගෙන තිබුණා කියලත් ඇය කියනවා. ඒ සමගම මුහුණුපොතේ ඇයට ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරත් ඉහලයි කියලා තමයි ශලනි කියන්නේ.

ඉතින් ඇය අද මේ සිටින තත්ත්වය පිළිබඳව ඇයට ඇත්තේ අවංක සතුටක්. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ඇයට රංගන ශිල්පිනියක් වීම සම්බන්ධයෙන් කණගාටුවක් පළවනු අවස්ථාද නැතුවාම නොවෙයි කියලා තමයි කියන්නේ. බොහෝ දෙනා ඇයට ආදරය කරුණාව දක්වන අතරතුරේ බොහොම සුළු පිරිසක් ඇයට මඩ ගැසීමේ ක්‍රියාවලියක්ද කරගෙන ගියා. නමුත් ඒ මිනිස්සුන්ගේ ගල් මුල් ප්‍රහාරවලින් ම ඇය ජීවිතයේ මහත් ශක්තියක් ලබා ගත්තා කියලා තමයි ශලනි කියන්නේ. මේ හේතුව නිසාම ඇයගේ රංගන ජීවිතය බොහොම සාර්ථක වුණා කියලත් කියනවා.

ඉතිං නිරෝධායන වන කාලසීමාවේදී ඇය කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට එළඹුණා. ඒ තමයි makeup කියන කෙටි චිත්‍රපටය.මේ වන විට youtube හරහා ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමේ හැකියාවකුත් තියනවා. නමුත් බොහෝවිට අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙන්නට ඇය බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එයට හේතුව එය පුළුල් මාතෘකාවක් නිසා ඒ සඳහා ගැඹුරින් අධ්‍යනය කළ යුතු බවයි තවදුරටත් ඇය කියන්නේ.

ඉතින් ඇයගේ ජීවිතයේ අනාගත බලාපොරොත්තුව ගැන කතා කරනකොට බොහෝ දේවල්  මේ වන විටත් ලබාගෙන තිබෙන බවයි කියන්නේ. රංගන වෘත්තිය තුළ හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය කියන සම්මාන දෙකම  මේ වන විට හිමිකරගෙන තිබෙනවා. ඒත් එක්කම පෞද්ගලික ජීවිතය තුළ යහපත් සැමියෙක් සහ දරුවන් සමඟ ගෙවන්නට බලාපොරොත්තුවක් තිබුනත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ කියලත් අවසාන වශයෙන් ශලිනි කියනවා.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 06 October 2021 23:25