May 19, 2024

"ශලනි කියන්නේ මගේ ජීවිතයේ මට හම්බුන සුවිශේෂී කෙනෙක්"

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය මේ දිනවල දී ලංකාවේ කා අතරත් අතිශය ජනප්‍රිය වී තිබෙන ලස්සන ටෙලි නාට්‍යයක්.ධනුෂ්ක රත්නායක මහතාගේ අධ්‍යක්ෂණයක් වන මෙම ටෙලි නාට්‍යය මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පිටපතෙහි සුන්දර බව නිසාමත්ම නොවේ.එහි නළු නිළියන්ගේ ඇති තාත්වික රංගනය නිසාම එම ටෙලි නාට්‍යය රසික රසිකයන් ඉතා ඉක්මනින් වැළඳ ගනිමින් සිටිනවා.මෙම ටෙලි නාට්‍යයේ සුවිශේෂී චරිතයන්වන නිර්වාණ් සහ අනුත්තර යන චරිතයන් දෙකටම පණ පොවන රංගන ශිල්පියා වන්නේ සචින් ලියනගේ කියන නව පරපුරේ තරුණ රංගන ශිල්පියෙක්.ඔහුගේ රංගන ගමන ගැන කතාබහක් අතරතුරදී ඔහු පැවසුවේ මෙවන් අදහසක්.

“මුලින්ම මම කියන්න ඕනෙ මම මේ රංගන ක්ෂේත්‍රයට නවකයෙක්.මගෙ අතින් යම් යම් අඩුපාඩු කම් රංගනයේදී වෙනවා ඇති.මොකද මම තාම රංගනය ඉගෙන ගනිමින් සිටින්නේ.මම මුලින්ම රඟපෑවේ music වීඩියෝ එකක දුෂ්ඨයාගේ චරිතයට.මං එතකොට හිටියේ පෑලියගොඩ මගේ අක්කලගෙ ගෙදර.අපේ අක්කලගෙ ගෙදර ලඟ අසල්වැසියෙක් තමයි රසාංග ද සිල්වා කියලා කියන්නේ.දවසක් එයත් එක්ක මම එයාගෙ සිංදුවක් එක්තරා නාලිකාවකට බාර දෙන්න ගිය අවස්ථාවේදී එම නාලිකාවේ හිටපු සුජිත් අයියා මියුසික් වීඩියෝ එකකට දුෂ්ටයාගේ චරිතය රඟපාන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා.මමත් ඉතින් ඉතින් දෙපාරක් හිතන් නැතුවම හා කිව්වා.එදා ඒ අහම්බෙන් ලැබුණු අවස්ථාව නිසා තමයි මම අද මෙතන ඉන්නේ.”

“මම ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වන දෙවැනි අවස්ථාව තමයි මේක.මම අහස් මාලිගා ටෙලි නාට්‍යයට මීට කලින් රංගනයෙන් දායක වුණා.වගේම තමයි මම වෙළඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා සහ තවමත් දායක වෙමින් ඉන්නවා.කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය කියලා කියන්නේ ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂයක්.ඇත්තටම චරිත දෙකකට පණ පෙවීමට මට සිදුවෙලා තියෙන නිසා එක්තරා විදිහක අභියෝගයක්.ඒ වගේම තමයි මට වැඩ කරන්න සිද්ධවෙලා තියෙන්නෙ ප්‍රවීණයන් එක්ක.මුලින් නම් මට ඒ ගැන තිබ්බෙ ලොකු බයක්.මොකද අපි තාම නවක රංගන ශිල්පීන් නිසා .නමුත් එකට වැඩ කරද්දි ඔවුන් මට ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා.පුංචි තිරයේ ශලනි අක්කගෙ පෙම්වතා ලෙස රඟපාන්න ලැබීම මට ලොකු අභියෝගයක්.ශලනි අක්කා කියලා කියන්නේ මගේ ජීවිතයෙ හම්බවුනු වටිනා චරිතයක්.ඇය මගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් මගේ රංගනයට ලොකු සහයෝගයක් දක්වනවා.මං හිතන්නෙ ප්‍රවීණයන්ගෙන් නවකයන්ට විය යුත්තේ එයයි.”

“මගේ පවුල් පසුබිම ගැන කතා කළොත් මගේ තාත්තයි පොඩි අක්කයි දෙන්නම ජීවතුන් අතර නැහැ.ඉතින් මගේ අම්මා ගොඩක් දුක් විඳලා තමයි අපිව මේ තැනට ගෙනාවේ.මං දැනට පදිංචි වෙලා ඉන්නේ මගේ අක්කගෙ ගෙදර.ගෙදර අයගෙන් මට ලැබෙන්නේ ලොකු සහයෝගයක්.මගේ අම්මා මම රඟපාන වෙළඳ දැන්වීමක් පවා මග අරින්නෙ නැතුව ආසාවෙන් නරඹනවා.මම දැනට නම් පෙම්වතෙක් නෙවෙයි.හැබැයි මට පාසල් ප්‍රේමයක් තිබිලා තියෙනවා.ඒ කාලෙ හරි සුන්දරයි.” කියලා තමයි අවසාන වශයෙන් ඔහු පවසා සිටියේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 October 2021 20:35