May 19, 2024

දෙරණට එරෙහිව පුෂ්පිකා නීතිය හමුවට

September 16, 2021

පසුගිය කාලයේ මෙරට දැඩි ආන්දෝලනයකට තුඩු දුන් විවාහක රූ රැජින කිරුළේ හිමිකාරීත්වය ලබාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් ඇයට එල්ල වෙන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා.

පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සමඟ ගිය පිරිස අතර මෙරට විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිටි බවට මෙහිදී චෝදනා එල්ල වුණා.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සම්බන්ධව මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා සිටියේ එම චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බවයි.

මේ වන විට බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට වන චෝදනා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පිළිගෙන සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ සම්බන්ධ පුවත විකාශය වීමේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ජායාරූපය දෙරණ නාලිකාවේ රාත්‍රී 6.55 ප්‍රවෘත්ති විකාශයේදී පළ කිරීම සම්බන්ධයෙන් ඇය එම නාලිකාවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා.

කෙසේවෙතත් දෙරණ නාලිකාව මඟින් ඊයේ දින ප්‍රවෘත්ති විකාශයේදී සිය වරද නිවැරදි කර නැවත පළ කිරීමක් ද සිදු කරනු ලැබුවා. 

මේ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා සිය මුහුනුපොතේ තබා තිබු සටහන පහතින්,

අප මේ සමාජය තුළ සැබෑ මනුෂ්‍ය ගුණාංගයන් සහිතව ජීවත් විය යුතුය. වෙනත් මනුෂ්‍යයෙකුගේ වටිනාකම, ආත්ම ගෞරවය, අවංකභාවය, වැදගත්කම සහ සත්‍යවාදී බව ආදී උසස් ගුණාංගයන් වෙත ගරු කල යුතු ය.

මේ සමාජය තුළ ජීවත් වීමේ දී අපගේ වගකීම වන්නේ අප භාරගන්නේ මොනවාද..? අප විසින් ප්‍රතික්ෂේප කරන්නේ මොනවාද ? අප තවත් පුද්ගලයකු පිළිබඳව ප්‍රකාශ කරන්නේ මොනවා ද? ආදී දේ පිළිබඳව ඉතා බුද්ධිමත්ව තෝරා ගැනීමයි.

එක්තරා රූපවාහිනී නාලිකාවක් විසින් මෑතක දී විකාශනය කළ ප්‍රවෘත්තියක විවාහක රූ රැජිනක් සම්බන්ධ කොටගෙන අසත්‍ය තොරතුරක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එම නාලිකාවට සහ අනෙකුත් වගකිවයුතු පාර්ශවයන් වෙත මා විසින් යොමු කළ මෙම ලිපිය මම ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමි.

මම සැමවිටම මාගේ හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ චරිතයක් ඝාතනය කිරීමට, අපහාස කිරීමට හෝ මානසික හිංසනයට ලක් කිරීම සැමදා ප්‍රතික්ෂේප කලෙමි. කාන්තාවක් වශයෙන් එයට එරෙහිව ශක්තිමත් ව සැමදා නැඟී සිටියෙමි. එවැන්නක් සිදු කිරීමට මින් ඉදිරියටත් මම කිසිඳු වාතාවරණයක් යටතේ ඉඩ නොතබමි. එය මාගේ ජීවත් වීමේ ප්‍රතිපත්ති අතර ඇති මූලධර්මයකි.

- පුෂ්පිකා ද සිල්වා

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 September 2021 13:06