May 21, 2024

අවසන් තීරණය මහින්ද අතට

February 17, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී යනවා ද නැතහොත් පක්ෂය තුළම සිටිනවා ද යන දෙකෙන් එකක්‌ පිළිබඳව අවසන් තීරණය ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැන් පූර්ණ නිදහස තිබෙන බව එම පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක ප්‍රකාශ කර තිබේ.

පක්ෂයේ හිටපු සභාපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ව්‍යවස්‌ථාව සහ පක්‍ෂයේ විනය නීති පිළිබඳව හොඳින් දන්නා නමුත් ඔහු අද හැසිරෙන්නේ පක්‍ෂයට අලුතෙන් බැදුණු සාමාජිකයකු ලෙස බව ද දිසානායක මහතා පවසා ඇත.

රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් බණ්‌ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විශාල හානියක්‌ සිදුව තිබෙව බව ද මෙසේ දැන දැන පක්‍ෂ විනය සහ ව්‍යවස්‌ථාව කඩකිරීම සමාව දිය නොහැකි බරපතළ වරදක්‌ බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

"කිසිම කෙනෙක්‌ බලෙන් තියාගන්න අපිට අවශ්‍ය නැහැ. දූෂණ චෝදනා එල්ල වී ඇති අයට ඕනෑම වෙලාවක පක්‍ෂයෙන් යන්න පුළුවන්. ඒ සඳහා පක්‍ෂයේ දොරටු ඇර තිබෙනවා. පක්‍ෂය කඩන්න තැන් තැන්වල කුමන්ත්‍රණය කරන, රැස්‌වීම් තියන, මාධ්‍ය ඉදිරිපිට වීරයන් වගේ හැසිරෙන අයට විරුද්ධව පක්‍ෂයට ආදරය කරන ජනතාව දැන් නැගී සිටිනවා." යනුවෙන් ද අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 19 February 2016 11:28