May 02, 2024

මහින්දගේ තවත් ආරක්‍ෂකයන් 50ක්‌ ඉවත් කිරීමේ තීරණය හදිසියේ අවලංගු කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට සිටි පොලිසියේ තවත් පනස්‌දෙනකු ඊයේ (07) සිට වහාම ඉවත් කර ඇතැයි වාර්තා වේ.

අදාළ පොලිස්‌ නිලධාරීන් ඊයේ රාත්‍රි 9.00 ට ජනාධිපති ආරක්‍ෂක අංශයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපතිවරයාට මුලින්ම පොලිසියේ 103 දෙනකු හා හමුදාවේ 102 දෙනකු ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ අතර ඉන්පසුව පසුගිය වසරේ මැයි මාසයේදී හමුදාවේ පිරිස ඉවත් කර ඒ වෙනුවට පොලිස්‌ නිලධාරීන් වරින්වර එක්‌කරනු ලැබිණි.

මේ අතර මෙම සියලු ආරක්‍ෂක නිලධාරීන් අතුරින් හිටපු ජනපතිවරයාගේ ආරක්‍ෂක මෙහෙයුම් ඒකකය භාරව සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු 42 දෙනකු පසුගිය මැයි 03 වැනිදා ඉවත් කරනු ලැබීය.

ඊයේ දිනයේදී මෙලෙස ඉවත් කළ 50‌දෙනා අතර මහින්ද රාජපක්‍ෂ මහතා ජනපතිවරයාව සිටි අවධියේ සිට ආරක්‍ෂාවට සිටි පිරිසක්‌ ද වන බවත් මෙම පිරිසට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව පිළිබඳව හොඳ පළපුරුද්දක්‌ හා අවබෝධයක්‌ තිබූ පිරිසක්‌ බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

හිටපු ජනාධිපතිවරයාට මේ වන විට ආරක්‍ෂාවට ඉතිරිව ඇත්තේ නිලධාරීන් 106 දෙනකු පමණි.

මේ අතර පොලීසිය පැවසූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් 50 දෙනෙකු ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණය අවලංගු කළ බවයි. 

ඒ අනුව තවදුරටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 157 දෙනෙකු යොදවා තිබේ. 

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 08 May 2017 09:57