May 07, 2024

"වැඩිකල් යන්නට මත්තෙන් අපි පෙන්නල දෙන්නම් ඊ.ටී.අයි. ගනුදෙනුවට මොකක්ද සිද්ධ වු‍ණේ කියලා" - රවී Featured

"අපි මෙම තැන්පත්කරුවන්ගේ තැන්පත් සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් කටයුතු කරනවා කියලා රජයක් වශයෙන් මම ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ තැන්පත් භයානක තත්ත්වයක නෙමෙයි තිබෙන්නේ කියලා කියන්න කැමතියි. වැඩිකල් යන්නට මත්තෙන් අපි පෙන්නල දෙන්නම් මොකක්ද මෙතන වු‍ණේ කියලා. ‍ රටේ හිටපු පාලකයෝ තුන්හතර දෙනෙක් කල්ලි ගැහිලා, යූ.එන්.පී.යටත් රටටත් ප්‍රශ්න ඇති කරනවා. අපි මොන ආකාරයෙන්වත් රටටත්, යූ.එන්.පී.යටත් ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකලේ, ඊයේ (28) ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයේ සභාපතිනිය ඇතුළු නියෝජිතයන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය. 

මෙම සාකච්ඡාවට සහභාගිවූ ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය  විසින් කියා සිටියේ තම මුදල් තැන්පතු සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදකාරී තත්ත්වයන්ට මහබැංකුව විසින් වගකිවයුතු බවයි. මහ බැංකුව මේ සම්බන්ධයෙන් දැනුවත් වූ අවස්ථාවේ හෝ කරුණු සොයාබලා නිසි පරිදි ක්‍රියාත්මක වූවානම්, මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළානම්, මෙම තත්ත්වය වලක්වා ගැනීමට හැකියාවක් තිබුණ බවත්,  ඊ.ටී.අයි. සමාගමේ දූෂ්‍ය ක්‍රියාමාර්ගයන්ට මහබැංකු නිලධාරීන්ගේ සහයෝගය ලැබීමෙන් මෙම අර්බුදකාරී තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාමට ඔවුන්ට හැකිවූ බවත්  ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනිය විසින් පැවසීය. තවද ඊ.ටී.අයි. සමාගම සතු දේපල අලවිකර තමන්ගේ තැන්පත් ආපසු ගෙවන බවට පැවසූවත්, තවමත් තමන්ට ලැබී ඇත්තේ මුලින් ලබාදුන් 20% ක ප්‍රමාණය පමණක් බවත් සංගමය පැහැදිළි කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මෙම සංගමයේ නියෝජිතයන් පවසා සිටියේ රවි කරුණානායක අමාත්‍යවරයාට මුදල් අමාත්‍ය ධූරය අහිමි වීමටද මෙම ඊ.ටී.අයි. සමාගමේ ක්‍රියාකාරීත්වය බලපා ඇති බවයි.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"දින දෙකකට පෙර ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආර්ථික ප්‍රතිපත්ති සාකච්ඡාවකදී මේ පිළිබද සාකච්ඡා වුණා. මහ බැංකුව ක්‍රියාකර ඇති ආකරය පුදුම සහගතයි. මුල සිටම මහ බැංකුව කලේ ඔවුන් නිවැරදියි, අනිත් පාර්ශවයන් වැරදි කරන ආකාරයක් පෙන්නුම් කරන නොමග යවන ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කිරීමයි. මේ අවස්ථාවේ මහබැංකුව විසින්  ඊ.ටී.අයි. සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශවයන් 03 ක් සොයාගෙන තිබුණා. ඒ තුළින් විදේශීය පාර්ශවයක් තෝරාගෙන තිබුණා. එම පාර්ශවය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 75 ක ලන්සුවක් ලැබුණා. නමුත් ඒ ඩොලර් මිලියන  75, මේ වනවිට  70 ක් බවට අඩුකරලා තිබෙනවා. ටෙන්ඩරයකින් ලැබුණ වටිනාකමක් අඩු කරන්න කාටද අයිතියක් තිබෙන්නේ. ලැබෙන ගාන අරගෙන කටයුතු කරනවා මිසක් මහබැංකුවට අයිතියක් නැහැ ඒ ගැන වෙනම නිර්වචන කරන්න. මෙන්න මේ වගේ වැඩ තමයි මහබැංකුව කරන්නේ. මහබැංකුව මෙහෙම ක්‍රියාකරනවානම්, කොහොමද  අපි ආයෝජකයන්ට විශ්වාසයක් ඇති කරන්නෙ මහ බැංකුව පිළිබදව.  මේ සම්බන්ධයෙන් දැඩි අධීක්ෂණයක් කරන්න අපි කටයුතු කරගෙන යනවා. ජාතික ආර්ථික සභාව තුළ දැනුවත් කරලා තිබෙනවා, මීට වඩා ඔබ්බට ගිහින් මේ පිළිබදව සොයාබලන්න කියලා. ඊයේ වනවිට අපිට දැනුම් දීලා තිබුණා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක් දානවා කියලා. නමුත් මේ වනවිටත් ඒක ලැබිලා නැහැ. මේ අයට විතරක් ඇයි මෙච්චර කාලයක් ලබාදීලා තිබෙන්නේ. වෙනකෙනෙක් සම්බන්ධයෙන් මේ වගේ දෙයක් වුණානම්, පැය 24 ක් යන්නටත් මත්තෙන් මහබැංකුව ඒ සම්බන්ධයෙවන් හඩ නගනවා. නමුත් එයාලගෙන් සිදුවූ දේ නිසා නිහඩව සිටිනවා."
Last modified on Friday, 01 March 2019 10:10