May 01, 2024

රවීට ඇප දෙයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනා ට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මෙම චුදිතයන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූවේ 2016 වසරේ දී සිදුවු රුපියල් මිලියන 15 ක බැදුම්කර වංචාවක් සම්බන්ධයෙනි.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළේය.

එම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපල බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේය.

විත්තිකරුවන් නඩු විභාග සඳහා අඛණ්ඩව පෙනී සිටීම අත්‍යාවශ්‍ය කරුණක් යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එසේ නඩු විභාගයට පෙනී සිටීම මඟහරිනු ලැබූවොත් ඇප අවලංගු කොට නඩු විභාග අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද නියම කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ඉතා සංකීර්ණ නඩු කටයුත්තක් බවය.

එබැවින් විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අයිතිය සුවිශේෂී කරුණක් සේ සලකා ඔවුන් ඇප මත මුදාහැරීමට තීන්දු කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

අනතුරුව නඩුව යළි අප්‍රේල් මස 29 වනදා කැඳවීමට ද නියම කෙරුණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 April 2021 09:48