April 26, 2024

නාමල්ගේ ප්‍රකාශයට හරීන්ගෙන් සැර පිළිතුරක් Featured

February 28, 2019

ගුවන් ප්‍රවේශපත්‍ර මිලදීගත නොහැකිව කුවෙට් රාජ්‍යයේ සේවය සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 30 දෙනෙකු පමණ සිටින බවට නාමල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බව විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

නාමල් රජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර ඇත්තේ, කුවෙට් රාජ්‍ය‍යේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන කන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා තමන්ට මේ බව පැවසූ බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් සටහන් කරමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ, තමන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කතා කළ බවත්, නාමල් රාජපක්ෂ මහතා පවසන ආකාරයේ දෙයක් නොමැති බව ඒ මහතා තමන්ට පැවැසූ බවත්ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මම මේ සම්බන්ධයෙන් කුවේට්යේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දුරකථනයෙන් කතා කළා. ඔහු කිව්වේ නාමල් රාජපක්ෂ මහතා සමග පැවැතියේ සාමාන්‍ය කතා බහක් පමණක් බවයි. එසේම නීතිවිරෝධී හා වීසා කාලසීමාව ඉක්මවා කුවේටයේ රැඳී සිටින ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තමන්ට මුහුණදීමට ඇති අභියෝග ගැන මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකළ බවද ඔහු පැවැසුවා. ඒ වගේම එවැනි තත්ත්වයක් (නාමල් රාජපක්ෂ මහතා පවසනාකාරයේ) නොමැති බව ඔහු තහවුරු කළා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙවැනි ගැටලු පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. මේ ට්විටර් පණිවිඩයේ (නාමල් රාජපක්ෂ මහතාගේ) කිසිම සත්‍යතාවක් නෑ. 27 රාත්‍රියේත් ශ්‍රමිකයන් 30ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔබ පැමිණි විට මෙහි සත්‍ය තත්ත්වය බලන්නයි මම ආරාධනා කරනවා”

මේ පිළිබඳව ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව හරින් ප්‍රනාන්දු මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ශ්‍රමිකයන් 30ක් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම හොඳ දෙයක් බවත් නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමන් සඳහන් කළේය.

Last modified on Thursday, 28 February 2019 11:39