May 08, 2024

ජනාධිපතිවරණයට බදුල්ල සූදානම්

2015 ජනාධිපතිවරණය සඳහා බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද විමසීම සඳහා සියළු කටයුතු සූදානම් කර ඇති අතර ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (07) පෙරවරු 07.00 සිට සිදු කරන බව බදුල්ල දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරී රෝහණ කීර්ති දිසානායක මහතා සඳහන් කරයි. 

ඡන්ද ගණන් කිරීම බදුල්ල කච්චේරිය, බදුල්ල මධ්‍යම මහ විද්‍යාලයේ සහ බදුල්ල විහාරමහාදේවි විද්‍යාලයේ ස්ථාපිත කරන ගණන් කිරීමේ මධ්‍යස්ථාන 46 ක දීත් තැපැල් ඡන්ද ගණන් කිරීම බදුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ මධ්‍යස්ථාන 18 ක දී ත්  සිදු කිරීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා පැවසීය.

මේ අනුව මහියංගනය, වියලුව, බණ්ඩාරවෙල යන මැතිවරණ කොට්ඨාශවල ඡන්දය ගණන් කිරීම බදුල්ල මධ්‍යම මහ විද්‍යාලයේදී ද පස්සර, බදුල්ල, ඌවපරණගම, වැලිමඩ යන මැතිවරණ කොට්ඨාශවල ඡන්දය ගණන් කිරීම බදුල්ල විහාරමහාදේවි විද්‍යාලයේ දී ද හාලිඇල සහ හපුතලේ මැතිවරණ කොට්ඨාශවල ඡුන්දය ගණන් කිරීම බදුල්ල කච්චේරි සංකීර්ණයේදී ද සිදුකිරීමට නියමිතයි. 

මැතිවරණ රාජකාරී සඳහා 8,300 ක පමණ කාර්ය මණ්ඩලයක් යෙදවීමට ද සැලසුම් කර ඇත. බදුල්ල දිස්ත‍්‍රික්කයේ විශේෂ මැතිවරණ කටයුතු සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් ඊයේ (06) පෙරවරුවේ සිට සේවයට වාර්තා කළහ. 

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඡුන්ද දායකයින් 620,486 ක් මෙවර ඡන්දය ලබාදීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 515 ක දී ඡන්ද විමසීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 09 ට අදාල ඡන්ද දායකයින් සංඛ්‍යාව පහත පරිදි ය.

මහියංගණය   - 95,715

බණ්ඩාරවෙල  - 83,147

වැලිමඩ   - 74,436

හාලිඇල - 69,909

හපුතලේ -  65,209

පස්සර - 62,901

ඌවපරණගම - 62,689

බදුල්ල - 55,185

වියලූව - 51,295

බදුල්ල - පාලිත ආරියවංශ

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 January 2015 09:10