April 27, 2024

වෙළඳසැල්, නිවාස මුහුදට ගහගෙන යයි - ඉරණවිල මුහුදේ මහා විනාශයක් (PHOTOS)

December 09, 2021

හලාවත - ඉරණවිල මුහුදු තීරය මේ දිනවල දරුණු ලෙස ඛාදනය වීමට පටන් ගෙන ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පෙන්වා දෙනවා. ගතවූ දින කීපය තුළ පමණක් ඉරණවිල මුහුදු තීරයේ පිහිටා තිබූ වෙළදසැලක් සහ නිවාස දෙකක්ද පොල් ගස් විශාල ප්‍රමාණයක්ද සම්පූර්ණයෙන්ම මුහුදට ගසා ගෙන ගොස් තිබෙනවා.

මෙරට වයඹ දිග මුහුදු තීරය ඛාදනය වීම ආරම්භ වූයේ මීට වසර 10 කට පමණ පෙර බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.  වෙන්නප්පුව - වෙල්ලමංකරය ප්‍රදේශයෙන් ආරම්භ වූ මුහුදු ඛාදනය මෙම වසර ආරම්භ වන විට තොඩුවාව ප්‍රදේශය දක්වා පැමිණ ඇති බවද ඔවුන් පවසනවා.

ගත වූ කාලය තුළ වයඹ දිග මුහුදු තීරයේ පිහිටි නිවාස ගනනාවක්ම සම්පූර්ණයෙන්ම මුහුදට ගසා ගෙන ගොස් තිබෙනවා. විශේෂයෙන්ම මාරවිල - මූදුකටුව ප්‍රදේශයේ පිහිටි නිවාස 70කට වැඩි ප්‍රමාණයක් හානියට පත් වී තිබෙනවා. එම නිවාස වල පදිචි වී සිටි පිරිස් වෙනුවෙන් නව ගම්මානයක් පවා ස්ථාපනය කිරීමට රජයට සිදු වු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මුහුදු ඛාදනය ආරම්භ වී කිසියම් විනාශයක් සිදු වූ විට ක්‍රියාත්මක වන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළු ගල් වැටි යෙදීම සිදු කර ඇතත් එසේ ගල් වැටි යෙදීම සිදු කරණු ලබන්නේ මුහුදු ඛාදනය පාලනය කිරීම සදහායි.

මේ ආකාරයට ගල් වැටි යෙදීම සදහා රජයට රුපියල් ලක්ෂ ගනනින් මුදල් වැය කිරීමට සිදු වී ඇති බවත් මෙම වසර තුළ පමණක් තොඩුවාව වෙරළ ආරක්ෂා කර ගැනීම සදහා ගල් වැටි 19 ක් යෙදීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත් අප වාර්තාකරු පැවසුවා. 

ගල් වැටි යෙදීමේ ප්‍රමාදය හේතුවෙන් මුහුද තව තවත් ඛාදනය වන බව ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරනවා. අවශ්‍ය කරන විශාල ප්‍රමාණයේ කළු ගල් සම්පාදනය කර ගැනීමට ඇති අපහසුව සහ ඒවා ප්‍රවාහනය කිරීමේදී ඇති වන දුෂ්කරතා හේතුවෙන් කිසියම් ප්‍රමාදයක් සිදු වන බව එවිට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මුහුදු ඛාදනය පාලනය කිරීම සදහා කළු ගල් වැටි යෙදීමද ක්‍රමවත්ව සිදු නොකරන බව ප්‍රදේශයේ ධීවරයින්ගේ මතය වී තිබෙන්නේ. නමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටින්නේ අදාල ගල් වැටි යෙදීම සිදු කරණු ලබන්නේ තාක්ෂණික උපදෙස් මත බවයි.

බටහිර සහ වයඹ දිග මුහුදු තීරයේ තරංග ක්‍රියාකාරීවය ඇත්තේ උතුරු දෙසට බව තාක්ෂණික නිලධාරීන් පවා පිළි ගන්නා මතයක් වී ඇති අතර ඒ අනුව දකුණු දෙසට වන්නට සිදු වන මුහුදු ඛාදනය පාලනයකින් තොරව උතුරට ව්‍යාප්ත වී ඇති බව මෙතෙක් එකී තාක්ෂණික නිලධාරීන් තේරුම් ගෙන නොතිබීම වර්තමානයේ සිදු වී සහ සිදු වෙමින් පවතින විනාශයට හේතුව වී තිබෙන බවද වාර්තා වෙනවා.

මෙම වසර මුල් කාලයේ තොඩුවාව මෝයට දකුණු පසින් මුහුදු ඛාදනය උග්‍ර ලෙස සිදු වු බව ප්‍රදේශවාසීන් පවසනවා. තොඩුවාව මෝයට දකුණු දෙසින් පැවති මුහුදු ඛාදනය මේ වන විට උතුරු දෙසට වර්ධනය වෙමින් පවතින බවක් දක්නට තිබෙන බවද ඔවුන් සඳහන් කරනවා.

තම ගෙවත්තේ තිබූ පොල් ගස් 30 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුදට බිලි වී ඇති බවයි අපට හමු වූ ධීවරයෙකු කියා සිටියේ. එමෙන්ම මුහුදට ආසන්නයෙන් ඇති තවත් පොල් ගස් විශාල ප්‍රමාණයක්ද අද, හෙට කඩා වැටීමට ඉඩ ඇති බවද ඔවුන් පෙන්වා දුන්නා.

මුහුදු ඛාදනය හේතුවෙන් හානියට පත්ව ඇති නිවාස දෙකෙහි සහ ව්‍යාපාරික ස්ථානයේ පදිංචි වී සිටි පිරිස් සදහා තාවකාලික ස්ථාන ලබා දීමට මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබෙනවා. නමුත් ඔවුන්ට ස්ථීර නිවාස ඉදිකිරීමට අවසර නැති අතර ස්ථීර භෝග වර්ග වගා කිරීමද නොකළ යුතු බවට මහවැව ප්‍රාදේශීය ලේකම්වරිය දන්වා තිබෙනවා. ඉදිරියේදී මෙම පිරිස් සදහා තෝරා ගත් භූමියක බිම් කොටස් ලබා දීමට නියමිතව ඇති බැවින් එම නියෝගය පනවා ඇති බව ඒෂියන් මිරර් අප කළ විමසුමකදී මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ.

(ජූඩ් සමන්ත)

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 09 December 2021 10:35