April 28, 2024

මහා පරිසර හානියක්! විරෝධතා නොතකා බලාගාර 19කට අවසර දෙන්න - රාජ්‍ය ඇමතිගෙන් නියෝග

December 09, 2021

ඉදිකිරීමට යෝජිත ජල විදුලි බලාගාර 19 ක කටයුතු කඩිනම් කරන්නැයි සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යංශය අදාළ අංශවලට දැනුම් දී ඇතත් එම බලාගාරවලින් බොහොමයක් සඳහා නීත්‍යානුකූල අවසර ලබා දිය හැකි මට්ටමක නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙනවා.

කෑගල්ල, කළුතර, ගාල්ල, හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි දියඇලි ආශ්‍රිතව මෙම විදුලි බලාගාර ඉදිකළ හොත් එම දියඇලි විනාශවීම වැළැක්විය නොහැකි යැයි පරිසරවේදීන්ගේ සංගම් කිහිපයක් එක්ව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී අවධාරණය කෙරිණි.

මාතර ඉලුක්පැලැස්ස ඇතුළු මෙම ව්‍යාපෘති බොහොමයක් පරිසර විරෝධතා හා මහජන අකමැත්ත මත නවතා දමා තිබු ඒවා බවත් ඒ පිළිබඳ තැකීමක් පවා නොකර ඉදිකිරීම් ඉක්මන් කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇතැයි ඔවුන් කියා සිටියා.

මේ දියඇලි ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර 19 න් වඩාත්ම පරිසරයට හානි දායක යැයි සැළැකෙන්නේ කලුතර අත්වැල්තොට පීලිතුඩ ඇල්ල ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත බලාගාරය යැයි එම මාධ්‍ය හමුව අමතමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කළා.

මේ වනවිටත් එහි ඉහළ කොටසේ නායයාමක් සිදුවී ජීවිත 9ක් විනාශ වී පවුල් හයක් අවතැන්වූ බවත් තවදුරටත් අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශය හඳුන්වා තිබිය දි මෙම බලාගාරය ඉදිකිරීමට සැළසුම් කිරීම කණගාටුදායක කරුණක් බවත් විතානගේ මහතා පැවසුවා.

වසර දහයකට අධික කාලයක් තිස්සේ මෙම බලාගාරය ඉදිකිරීමට තැත්කරන බවත් ඊට එරෙහිව එන විරෝධතා නොසලකා කටයුතු කරන බව පෙනී යන බවත් කී විතානගේ මහතා සිංහරාජ වනාන්තරයෙන් පෝෂණය වන මෙම දිය ඇල්ල ආශ්‍රීතව ඒකදේශික මත්ස්‍ය විශේෂ 15ක් හා ආවේනික මත්ස්‍ය විහේෂ 18 ක් ද වාසස්ථානය කරගෙන සිටින්නේ යැයි ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)