May 06, 2024

'රහස් හා ෆයිල් කියන්නේ දෙකක්' - ඇමති රාජිත

රහස් සහ ෆයිල් යනු එකක් නොව දෙකක් බවත් නෛතික වශයෙන් බලපෑමක් නොවන රහස් ද තිබිය හැකි බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්න හමුවේය.

පසුගියදා මාතරදී පැවැති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය පාලන සමයේ රහස් හෙළිකරන බවට සිදුකළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන්‍ එහිදී ප්‍රශ්න කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් රහස් හෙළිකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද ඒ අයට අවශ්‍යය පරිදි නොව අවශ්‍යය වේලාවට ජනාධිපතිවරයා ඒවා හෙළිකරනු ඇති බවයි.

එක් එක් පුද්ගලයින් සතුව විවිධාකාරයේ රහස් තිබිය හැකි බව පැවසූ අමාත්‍යවරයා නෛතික වශයෙන් බලපෑමක් සිදුකළ නොහැකි රහස් ද තිබිය හැකි බව පැවසුවේය.

ජනාධිපතිවරයා එදා සිදුකළේ තර්ජනයක් නොවන බවත් කිසිසේත් ආණ්ඩුව පවත්වාගෙන යාමේ බියක් නොමැති බවත් කියා සිටියේය.

මේ අතර අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු එහි ලේකම්වරයා ලෙස මනෝ තිත්තවැල්ල මහතා පත්කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය වෙත දන්වා සිටියේය.

එහිදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කියාසිටියේ අදාළ කාර්යාලයේ ප්‍රධානීන් 07 දෙනා ලෙස පත්කරනුයේ ලාංකිකයින් බවයි.



Rate this item
(0 votes)
Last modified on Thursday, 25 August 2016 09:39