May 06, 2024

අක්ෂි කාච නොමිලේ

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් තුළ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සඳහා භාවිත කරන අක්ෂි කාච එම රෝගීන්ට නොමිලේ ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බලධාරීන්ට නියෝග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි.

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා මේ වනවිට ලක්ෂ 10කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ රැදී සිටින බව වාර්තා වේ.

පසුගියදා අක්ෂි රෝග වෛද්‍යවරුන් සමග පැවති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අක්ෂි කාච අලෙවි කිරීම සඳහා විවිධ සමාගම්වල නිලධාරීන් අක්ෂි රෝහල ආසන්නයේ රැඳී සිටින බවයි.

මෙතෙක් අඩු ආදායම්ලාභි පවුල් වල රෝගීන්ට පමණක් විෂන් 2020 වැඩසටහන යටතේ අක්ෂි කාච ලබාදීම සිදුකළ අතර අනෙකුත් රෝගීන්ට පෞද්ගලික අංශයෙන් අක්ෂි කාච මිලදී ගෙන ශල්‍යකර්ම සිදුකිරීමට සිදුව තිබුණි.

ඒ අනුව රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ මෙලෙස වෛද්‍ය සැපයුම් අංශය හරහා සියළුම රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබාදීමට පියවර ගැනීම තුළින් නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මකව ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 June 2016 16:30