May 21, 2024

හිටපු LTTE සාමාජිකයින් වෛද්‍ය පරික්ෂණයට ලක්කිරීම අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

හිටපු කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කොට ඇතැයි ඔවුන් ජාත්‍යන්තර වෛද්‍ය පරික්ෂණයකට ලක් කළ යුතු යැයි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් අමෙරිකාවෙන් කරන ලද ඉල්ලීම අමෙරිකානු වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවට උතුරු පලාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. කේ ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා උතුරු පලාතේ වෛද්‍ය සායනයන් පැවත්වූ අමෙරිකානු ගුවන් හමුදා වෛද්‍යවරුන් නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා පැමිණි අවස්ථාවේදී උතුරු මහ ඇමතිවරයා විසින් හිටපු කොටි සාමාජිකයින් පරික්ෂා කරන ලෙස ද කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් විමසීමේදීය.

ඊට හේතු කාරණා විමසූ විට ඇමරිකානු වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කළේ තමන්ට එවැනි පරීක්ෂණ කිරීම පිණිස අවශ්‍ය පහසුකම් නොමැති බව පමණක් යැයි ද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේවෙතත් පුනරුත්ථාපනය වූ සියලුම එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් පූර්ණ වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කිරීමේ කටයුතු උතුරු පළාත් සභාව විසින් කෙසේ හෝ සිදු කරණ බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියේය.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දියත් කොට ඇති එම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන බව කී මන්ත්‍රීවරයා ඒ සදහා විදෙස් රටවල සහය අවශ්‍ය වේ නම් ඊට උදවු කිරීමට විදේශ රටවල් සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Rate this item
(0 votes)
Last modified on Monday, 22 August 2016 11:17