May 22, 2024

සටන අවසන් වූ තැන විග්නේෂ්වරන් පහන් දල්වයි (PHOTOS)

මුලිතිව් වෙල්ලමුල්ලිවයික්කාල්හිදී උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.

ඒ අවසන් මානුෂීය මෙහෙයුම අතරතුර මියගිය සාමාන්‍ය වැසියන්ගේ 7වන වර්ෂ පූර්ණය වෙනුවෙනි.

වෙල්ලමුල්ලිවයික්කාල්හි පිහිටි මියගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාරකය අසල දී පැවති මෙම සැමරුම් උත්සවයට උතුරු මහ ඇමතිවරයා ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පළාත් මැතිඇමතිවරුන් ද මියගිය වැසියන්ගේ ඥාතීන් ද සහභාගී වී තිබේ.

එම අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා යුද්දයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 5ක නිශ්ශබ්දතාවයක් පවත්වා මල් පූජා කොට පහන් දල්වා මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම සිදුකළ බව වාර්තා වේ.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතා, " මම විශේෂයෙන් දකුණේ සිංහල ජනතාවට ඇතුලු සියලු දෙනාට කියන්නේ ගොඩක් අය කියනවා අපි මිය ගිය කොටි සංවිධානය සමරනව කියලා. ඒක එහෙම නෙමෙයි මේ අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සිදුවීම ගැන ත්‍රස්තවාදී සිදුවීමක් විදිහට බලන්න එපා.

අවසන් යුද්දයේදී මිය ගිය සියලුම දෙනා කොටි සාමාජිකයින් නෙමෙයි. විශාල වශයෙන් සාමාන්‍ය මිනිසුන් මියගියා. ඒ නිසා අපි ඒ අයට ඇත්තටම මොකද වුනේ කියල බලන්න ඕන. හොයන්න ඕන. මේක මිනිස්සුන්ට වෙච්ච ලොකු විනාශයක්. ඒ විනාශයෙන් මියගිය සාමන්‍යවැසියන් සමරන්න තමයි අපි මේ ඇවිල්ල ඉන්නේ" යනුවෙන් කියාසිටියේ ය.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 May 2016 01:52