May 22, 2024

ප්‍රභාකරන් උපන් ගමෙන් යුධ උපකරණ තොගයක් හමුවෙයි (PHOTOS)

කොටි නායක ප්‍රභාකරන්ගේ උපන් ගම වූ යාපනය වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි ප්‍රදේශයෙන් කොටි සංවිධානයට අයත් යුද උපකරණ රැසක් සොයා ගැනීමට වැල්වැටිතුරෙයි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් පිරිසක් ඊයේ (04) සවස සමත් වී තිබේ.

වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි ප්‍රදදේශයේ අතහැර දමන ලද ළිඳක යුද උපකරණ තොගයක් ඇති බවට වැල්වැටිතුරෙයි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ඒ බව පේදුරු තුඩුව අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයක් ද සහිතව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෝදිසි හා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට ගොස් මෙම කොටි යුද උපකරණ තොගය සොයාගෙන ඇත.

අතහැර දමන ලද ළිදේ ජලය ඉවත් කොට විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් අදාළ යුද උපකරණ තොගය ගොඩගෙන ඇති අතර එහිදී කොටි සංවිධානය විසින් නිශ්පාදිත ආගස්ට් 69 වර්ගයේ අත් බෝම්බ 69ක්, මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් බේම්බ 11ක්, මිලිමීටර් 60 මෝටාර් පැරා උණ්ඩ 25ක්, මෝටාර් ෆියුස් කොටස් 04 ක් හමු වී තිබේ.

යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමන්නට ඇතයි සැක කෙරෙන සොයාගත් යුද උපකරණ තොගය දිගුකලක් ජලයේ තැන්පත්ව තිබීම නිසා දැඩි සේ දිරාපත් වීම හේතුවෙන් පේදුරුතුඩුව අධිකරණ නියෝග මත උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේදීම පුපුරවා විනාශ කළ බව ද වාර්තා වේ.

ඡායාරූප පහතින්.

වන්නි - රොම්ෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 July 2016 10:11